ලංකාවේ කලා ක්ෂේත්‍රයේ වගේම ජාත්‍යන්තර කලාවත් ජයගත්තු විශිෂ්ට රංගන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ වූ රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියන්නේ.ඉතින් මේ දිනවල සජිත ගැන වැඩි වශයෙන් කතා කරන්න පටන් ගත්තේ ඔහු විසින් රංගනයෙන් දායකත්වය දක්වන අලුත්ම ටෙලිනාට්‍යයේ කෙවීන් කියන චරිතය නිසයි.

කෙවීන් කියන චරිතය හරහා කරළියට පැමිණෙන සජිත පියාගේ වියෝවෙන් පස්සේ වැඩි කාලයක් ලංකාවේ හිටියෙ නෑ. ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ සහ පුතා එක්ක ඕස්ට්‍රේලියාවට වෙලා තමයි ජීවිතය ගත කළේ.සජිත මේ විදිහට විදෙස් ගත වුණේ ඔහුගේ ආදරණීය බිරිඳගේ ඉතිරි අධ්‍යාපන වැඩ කටයුතු සඳහා.මේ වෙද්දී සාර්ථකව ඔවුන් ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වුණත් සජිත නම් කලා කටයුතු වෙනුවෙන් ලංකාවට එනවා යනවා.ඒ වගේම තමයි ඔහු ගත කරන මේ ජීවිතයට බුවී හෙවත් සජිතගේ ආදරණීය බිරිඳගෙන් ලැබෙන සපෝට් එක ගැනත් කියන්නම ඕනේ.ඉතින් ඒ සම්බන්ධයෙන් සජිත කියලා තිබ්බේ මේ වගේ ආදරණීය කතාවක්.

“අනිවාර්යයෙන්ම. බුවීගෙ හමුවීමත් එක්ක මගේ කලා ජිවිතේ වේගවත් වුණා. එයා තමා මගේ මැනේජර් විදිහට හැමදේම කරන්නේ. විදෙස් සංචාර මැනේජ් කරන්නේ, ලංකාවේ මගේ කැලැන්ඩරේ අප්ඩේට් කරන්නේ, හැමදේම මට මතක් කරන්නේ. මම කලාවට දක්ෂ වුණාට අනිත් සියල්ල මැනේජ් කරන්නෙ එයා. මගේ අම්මා අප්පච්චිගෙන් ලැබුණු කුසලතා එක්ක, මම එකතු කරගත්ත ව්‍යුත්පත්තියත් එක්ක, මම කරපු සතතාභ්‍යාසත් එක්ක මම සම්පූර්ණ කරල තිබුණෙ රවුමක ශක්තිමත් භාගයක් විතරයි. ඉතිරි භාගෙ තමයි බුවී. මට හිතාගන්න බෑ, එයාගෙ සපෝට් එක නැතිවුණොත් එකපාරටම මාව ජබක් ගාලා පහළටම වැටේවි. එයා තමයි මගේ ශක්තිය. මම මගේ දෛවයට ස්තුතිවන්ත වෙනවා බුවීව මට මුණගැස්සුවට. මගේ අම්මා අප්පච්චිට දෙන ගෞරවයට සමාන ගෞරවයක් මං එයාටත් දෙනවා.”

ඉතින් ඔවුන් දෙදෙනාට තවත් බොහෝ කාලයක් අවබෝධයෙන් සතුටෙන් ජීවත් වන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.