මෙරට ටෙලි නාට්‍ය කලාවේ පෙම්වත් යුගයක් බිහි කරපු ආදරණීය කලාකරුවෙක් තමයි විශ්ව කොඩිකාර කියන්නේ. විශ්ව ගැන කතා කරද්දි ඔහු පබළු ටෙලි නිර්මාණය හරහා තමයි කරළියට එන්නේ.දශක එක හමාරක පමණ කාලයක් බොහෝ දෙනෙක්ගේ හදවත් දිනාගත්තු ඔහු අදටත් ටෙලි නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා.

පුංචි තිරයේ හිටපු ජනප්‍රියම පෙම්වතා අද වෙද්දිත් පෙම්වතාගේ භූමිකාව   සමග වැඩ කටයුතු කළත් ඇත්තටම තවත් ටික කාලෙකින් ඔහුට පෙම්වතාගේ චරිතයට සමු දෙන්න සිද්ධ වේවි.හේතුව අලුත් කලාකරුවන් කරළියට එනවා එතකොට ඔවුන්ට අවස්ථාව දෙන්න ඕනේ.ඒ සම්බන්ධයෙන් අහපුවහම විශ්ව කිව්වේ මේ වගේ කතාවක්.

“ඇත්තටම එහෙම දෙයක් නැහැ. පෙම්වතාගේ චරිතය ආවොත් බලලා භාර ගන්නවා. නමුත් මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ වසර තුනක් ඉගනගත්ත කෙනෙක්. මට ආසයි දැන් එකිනෙකට වෙනස් චරිත කරන්න. සීසර්ලා නිර්මාණයේ මගේ චරිතයත් ඒ වගේ එකක්. ඒ වගේම ඉදිරියට එන්න තිබෙනවා චිත්‍රපටයක් ‘වර්ණ’ කියලා. අජිත් ධර්මසූරිය මහත්මයාගේ තිර පිටපතක්. ඒකෙ මගේ චරිතය වයසින් වැඩි චරිතයක්. මොකද මම දැන් තීරණයක ඉන්නවා එකිනෙකට වෙනස් චරිත කළ යුතුයි කියලා. පෙම්වතාගේ චරිතය කියන්නෙත් හොඳ එකක්. එහෙම චරිතයක් නැවත ආවත් මම බලලා භාරගන්නවා. නමුත් මම දන්නවා මට හැමදාම ඒ තැන ඉන්න බැහැ. මට වඩා ලස්සන, මට වඩා රඟපෑමෙන් දක්ෂ, තව තරුණයෝ එනවා ඔවුන්ට ඒ අවස්ථාව දිය යුතුයි. මගේ පූර්ණ සහාය එතැනදී ඔවුන්ට ලැබෙනවා.”

ඉතින් ඔහුගේ කටයුතු දිනෙන් දිනම දියුණු වේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.