කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ එක්ස් කිරණ X-ray යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිත බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති සනක ධර්මවික්‍රම පැවසුවේය.


ඒ අනුව හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කරන රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව වාර්තාවේ.


රාජ්‍ය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසා සිටියේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කරන රෝගීන් විකිරණ පරීක්‍ෂණ සඳහා යොමු කිරීම අත්‍යාවශ්‍ය බැවින් එම රෝගීන් වෙනත් අංශවලට මාරු කිරීමට සිදුව ඇති බවය.


මෙහිදී එම සංගමයේ සභාපති සනක ධර්මවික්‍රම පවසා සිටියේ මීට මාස දෙකකට පෙර ප්‍රධාන එක්ස් කිරණ යන්ත්‍රය කැඩී ගිය බවත් ඉන් අනතුරුව දෙවැනි යන්ත්‍රය භාවිත කරමින් එක්ස් කිරණ පරීක්ෂණ සිදු කළ බවත්ය.


මෙහි ඇති ප්‍රධාන එක්ස් කිරණ යන්ත්‍රය උසස් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ පරීක්‍ෂණ වාර්තා වාට්ටු, ශල්‍යකර්ම මධ්‍යස්ථාන සහ වෛද්‍යවරුන් වෙත තත්පර කිහිපයකදී යැවීමට හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.