සිසුන් 17දෙනකු සාමාන්‍ය පෙළට ඉදිරිපත් වී ඔවුන් සියලුදෙනාම විභාගය අසමත් පාසලක් කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.


ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල මලිය⁣දේව බාලිකා විදුහලේ පසුගියදා පැවති කුරුණෑගල අධ්‍යාපන කලාපයේ විදුහල්පති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින්ය.


එමෙන්ම එම අධ්‍යාපන කලාපයේම සිසුන් සිවුදෙනකු විභාගයට ඉදිරිපත් වී ඔවුන් සියලුදෙනාම අසමත් වූ පාසලක්ද ඇති බවත් මෙම අවස්ථාවේදී එම පාසල්වල නම ප්‍රකාශ නොකරන බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.



පහසුකම් සහිත කුරුණෑගල අධ්‍යාපන කලාපයේ පාසල් කීපයකම සිසුන් මෙලෙස විභාග අසමත් වී ඇති පසුබිමක මහව අධ්‍යාපන කලාපයේ වන අලි ගැවසෙන දුෂ්කර ප්‍රදේශයක පාසලක් වයඹ පළාතේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාගෙන ඇති බවද හෙතෙම කීවේය.



"මේක වෙන්න බැරි දෙයක්. සිසුන් හැමදෙනාම අසමත් වෙන්නෙ කොහොමද? අනික කුරුණෑගල
කලාපයේ පාසල්. මෙහෙම වුණා කියලා පාසල් වහල දාන්න දෙන්න බැහැ. විදුහල්පතිවරයා තමයි මේ සඳහා නායකත්වය දෙන්න ඕනෑ. මම ආණ්ඩුකාරවරයා ලෙස වයඹ වැඩ භාර ගනිද්දි සාමාන්‍ය පෙළ ලංකාවේ 8 වැනි තැනට තිබුණේ. නමුත් මේ වන විට වයඹ 4වන තැනට ඇවිත් තිබෙනවා." යැයිද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.



"පාලකයෙක් දුර්වල උනොත් රටකට වගේම පාසලකටත් විනාශයක් සිදු වෙනවා. සහතික තිබුණාටම විදුහලක් කරන්න බෑ. කණ්ඩායම් හැඟීම, ඍජු තීරණ ගැනීම කියන මේ සියලුම අංශවලින් විදුහල්පතිවරයකු සන්නද්ධ වෙන්න ඕන." යැයිද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.