මෙරට වෙළෙදපොළේ පවතින කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස “පොන්නි සම්බා“සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ඉන්දියාවෙන් අපනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළද, සහල් ආනයනයට අදාළව මෙරටට ගෙන්වන ලද පොන්නි සම්බා සාම්පල හයක් පරීක්ෂා කිරීමේදී ඉන් පහකම බැර ලෝහ අඩංගු බවට අනාවරණයවී තිබේ.


උත්සව සමයේදී මහා පරිමාණ සහල් වෙළෙඳුන් කීරි සම්බා තොග සඟවා වෙළෙදපොළට නිකුත් නොකිරීම නිසා මේ දිනවල රට තුළ කීරි සම්බා හිඟයක් පවතී. මේ හේතුව නිසා ඉන්දියාවෙන් කීරි සම්බාවලට ආදේශකයක් ලෙස පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයෙන් අවසරය ඉල්ලා සිටියද, ආනයනය කරන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000 ක් වියයුතු බවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කියා සිටියේය.




ඒ අනුව, පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් පමණක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබා දුන්නේය. රජයේ ආයතනයක් හරහා මෙම පොන්නි සම්බා තොගය ආනයනය කිරීමට නියමිතව තිබුණි. නමුත්, අදාළ ආනයනයට පෙර සහල් සාම්පල හයක් මෙරටට ගෙන්වා කරන ලද පරීක්ෂාකිරීම්වලදී අනාවරණයවී ඇත්තේ එම සාම්පල පහකම බැර ලෝහ අඩංගු බවය. 



මේ බව කැබිනට් මණ්ඩලයේදීද කතා බහට ලක්ව තිබේ.


මෙම නිසා රටේ කීරි සම්බා අවශ්‍යතාවය සපුරාලීම සඳහා වෙනත් ආයතනයක් හරහා පොන්නි සම්බා තොග ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.