ලබන වසරේ ජනවාරි මස මැද භාගය වන විට විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් බොහෝ දුරට එමගින් විදුලි ගාස්තු අඩුවීමක් සිදුවනු ඇති බවත් විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.


ලබන වසරේ අප්‍රේල් මසදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බව මින් පෙර පැවසුවද විදුලි බල මණ්ඩලය පසුගිය කාලය පුරාම විදුලිය උත්පාදනය කළේ ජලයෙන් බැවින් එම වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා කියා සිටින්නේය.


ඇමැතිවරයා මේ පිළිබඳව පැවසුවේ ඊයේ (12 වැනිදා) විදුලි බල අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.



මෙම සාකච්ඡාව කැඳවා තිබුණේ විදුලි ගාස්තු සකස් කිරීමේ ක්‍රමවේදය සහ විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනා ලබාගැනීම සඳහාය.

 

මෙම අවස්ථාවට විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු ඉහළ නිලධාරින් බලශක්ති ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ සංගම් සහභාගී වූහ.



මෙහිදී අදහස් දක්වා සිටි විදුලි බල ඇමැතිවරයා කියා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලය ගාස්තු සංශෝධනයන්වලට යනු ලබන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ජල කළමනාකරණ කමිටුව ලබාදෙන දත්ත මත බවය.


පසුගිය කාලය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් දත්තවල පරස්පරතාවයන් තිබෙන බවද ඔහු පැවසුවේය.