කුරුණෑගල, රිදීගම, පානගමුව ප්‍රදේශයේ නිවෙසක පෙරේදා සවස හදිසියේ ඇති වූ පිපිරිමක් සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ  පවත්වන බව රිදීගම පොලීසිය පවසනවා.

පානගමුව ප්‍රදේශයේ කුඩා නිවසක පෙරේදා පස්වරු 3.00 ට පමණ මෙම පිපිරීම සිදු වී ඇති බවත් ඉන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති බවත් පොලීසිය කියයි.


පිපිරීම සිදුවූ නිවස පානගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් ඉඩමක ඇති කුඩා නිවසක් වන අතර එම අවස්ථාවේ එහි සිට ඇත්තේ මුරකරුවකු පමණක් බවත් පොලිසිය සඳහන් කරයි.

පිපිරීමෙන් නිවසේ වහළයට හා බිත්තිවලට හානි සිදුවී ඇති අතර පිපිරීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

රජයේ රස පරීක්‍ෂකවරයා ඊයේ එම ස්ථානය නිරීක්‍ෂණය කළ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය ද පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සිද්ධිය
සම්බන්ධයෙන් නිවස හිමි එම ව්‍යපාරිකයා සහ නිවසේ මුරකරු ලෙස සිටි වයෝවෘද්ධ පුද්ගලයකු අත්අඩංගුවටගෙන ඇති අතර රිදීගම පොලීසිය මේ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇත.