බාලවයස්කාර දැරියන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකු සිපගෙන අනතුරුව ඔවුන්ට තම ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන පාසල් කාර්යාල කාර්ය සහායකවරයෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


වෙන්නප්පුව - මිරිස්සන්කොටුව ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතිවරයා පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.



එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල, බණ්ඩිරිප්පුවේ පදිංචි වයස අවුරුදු 24ක් වන අයෙකි.


අදාළ විද්‍යාලයේ 04 ශ්‍රේණියේ පන්ති කාමරය තුළදී දැරියන් තිදෙනෙකු සහ දරුවන් දෙදනෙකු සිපගෙන අනතුරුව එම දරුවන්ට තම ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන කිහිපයක් පෙන්වා ඇති බව විදුහල්පතිවරයා පොලීසියට පැමිණිලි කර තිබේ. 



මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී එම පන්ති කාමරය තුළ ගුරුවරයෙකු හෝ ගුරුවරියක් සිට නොමැති බවද විදුහල්පතිවරයා පවසා ඇත.



පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 


සැකකරු මාරවිල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.