රිය අනතුරු හේතුවෙන් වින්දිතභාවයට පත්වන පිරිස වෙත අධිකරණ ක්‍රියාවලියකට යාමකින් තොරව වන්දි මුදලක් ලබාගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව මාසයක් ඇතුළත හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.


මේ වන විටත් මේ සඳහා වන රෙගුලාසි සකස්කර ඇති බවත් රිය අනතුරට ලක්වූ පාර්ශ්වයට අධිකරණය වෙත නොයා රුපියල් ලක්ෂ පහක් දක්වා වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාව මේ හරහා හිමිවන බවත් හෙතෙම සඳහන් කළේය.



එමෙන්ම රිය අනතුරේ ස්වභාවය අනුව එම ලක්ෂ පහක මුදල වින්දිතයන්ට ප්‍රමාණවත් නොවන්නේ නම් ඉන්පසු අධිකරණය වෙත යොමුවී වන්දි ලබාගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා පැවසීය.



මේ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකිරීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රිය අනතුරුවලට පත්වී මහමඟ දමායන පිරිස වෙත රක්ෂණ ආයතන හරහා වන්දි ලබාගැනීමේදී අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත්වීම අපහසු වන බැවින් මෙම විනදිත පාර්ශ්වය වෙත යම් සහනයක් ලබාදීමේ අරමුණින් මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිත බවයි.