ලබන වසරේ (2024) දී පොලිස් සේවය සඳහා නිලධාරීන් පන්දහසක් බඳවා ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 13 වැනිදා) පැවැසීය.


ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ බව කී ඇමැතිවරයා මෙසේ ද කීවේය.


අධිවේගී මාර්ග පද්ධතියේ ගිනි නිවීම් සහ ජීවිත ගලවා ගැනීමේ රාජකාරි කටයුතු කරන විශේෂ කාර්ය බළකා භටයන් ඉවත් කිරීමට පියවර ගත්තා. ඊට හේතුව වන්නේ විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ සිදු කරන රාජකාරි වන්නේ රිය අනතුරක් සිදුවූ අවස්ථාවක ක්‍රියාත්මකවීම සහ ගින්නක් ඇති වූ විට ඒ පිළිබඳ කටයුතු කිරීම පමණක් වීමයි.




පසුගිය මාස එකොළහක කාලය තුළ එලෙස සේවයේ යොදවා ගැනීම් සිදුකර ඇත්තේ අවස්ථා 164කදී පමණයි. එම ස්ථානවල සේවයේ යොදවා ඇති විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 175දෙනෙකු සඳහා වසරකට රුපියල් මිලියන 260 ක පමණ වියදමක් දරණු ලබනවා. හදිසි අනතුරකදී ක්‍රියාත්මකවීම හැර ඔවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙන්නේ නැහැ.




මේ වනවිට පවතින මත්කුඩු මාෆියාව මර්දනය සඳහා විශේෂ කාර්ය බළකාය අපට අවශ්‍යයි. ඒ සඳහා දැනටමත් කාර්යමණ්ඩල සාමාජිකයින් 2300 පමණ හිඟයක් පවතිනවා. ඒ පිළිබඳවත් සලකා බලමින් මෙම සාමාජිකයින් 175 මෙලෙස ඉවත් කරගැනීමට පියවර ගත්තා.




ශ්‍රී ලංකා පොලිසියේ දැනට සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 21422ක් විශේෂ කාර්ය බළකායේ පුරප්පාඩු 2345ක් පවතිනවා. පොලිසියට නව නිලධාරීන් 5000ක්‌ බඳවා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.