ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට සිසු සිසුවියන් 45,000ක් මෙවර ඇතුළත් කර ගන්නා බවත් ඒ සඳහා වන කඩයිම් ලකුණු (z) පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කළ බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සිළුමිණට හෙළි කළේය.

පසුගිය සැප්තැම්බර් 4 වෙනිදා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් මාස 3ක් ඉක්ම යාමටත් පෙර කඩයිම් ලකුණු නිකුත් කිරීමට හැකිවීමෙන් 2024 වසරේ ආරම්භයේ සිටම සිසුන්ට සරසවි අධ්‍යාපනය ලැබීමට හැකිවනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

2020ට පෙර විශ්වවිද්‍යාලයන්ට ඇතුළත් කර ගන්නා ලද්දේ 30,000ක් පමණ වූ සිසු පිරිසක් බව පෙන්වා දුන් මහාචාර්යවරයා පැවසුවේ 2020 සිට මේ දක්වා වූ කාලය තුළ සාමාන්‍යයෙන් ඇතුළත් කර ගන්නා සිසු සිසුවියන්ට අමතරව 50,000ක් පමණ වැඩිපුර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත් බවයි.

මේ වසරේදී පළමු වටයේදී සිසුන් 42,147ක් සරසවිවලට ඇතුළත් කර ගන්නා බවත් එහිදී ජීව විද්‍යා අංශයෙන් 9896ක්ද, භෞතික විද්‍යා අංශයෙන් 8071ක්ද වාණිජ අංශයෙන් 7850ක්ද කලා අංශයෙන් 11780ක්ද ඉංජිනේරු අංශයෙන් 2295ක්ද ජෛව පද්ධති තාක්ෂණ අංශයෙන් 1536ක්ද වෙනත් අංශවලින් 719 ක්ද ඇතුළත් කර ගනු ඇත.

මේ වන විට සුදුසුකම් ලැබූ සියලු සිසුන්ට කෙටි පණිවිඩයක් මඟින් ඒ බව දන්වා ඇතැයිද යම් හෙයකින් එම පණිවිඩය ලැබී නොමැත්තේ නම් ඒ සම්බන්ධව කොමිසමෙන් විමසා බැලිය හැකි බවද පැවසුවේය.

එමෙන්ම සියලු විශ්වවිද්‍යාලයන්හි මානව ශාස්ත්‍ර පීඨයන්ටද (කලා) පරිගණක විද්‍යාව හැදෑරීමට අවශ්‍ය පහසුකම් මේ වන විටත් සපයා ඇතැයිද පැවසූ ඔහු ඒ අනුව කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමතුන්ටද සරසවිවලදී පරිගණක විද්‍යා උපාධිය ලබා ගැනීමට හැකි බවයි. (කඩයිම් ලකුණු (z) විස්තර 31 පිටුවේ සිට 34 දක්වා පළ වේ)