මහා පරිමාණ සහල් මෝල් හිමියන් සඟවාගෙන සිටින සම්බා සහ කීරි සම්බා සහල් තොග රජයට අත්පත් කරගෙන වෙළෙඳ පොළට මුදාහැරීම සඳහා කඩිනමින් පනතක් සකස් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු පැවසීය.


රටේ දැනට උද්ගතව තිබෙන සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස මෙම පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.



රටේ සම්බා සහ කීරි සම්බා තොග තිබියදී මහා පරිමාණ සහල් මෝල් හිමියන් එම සහල් තොග සඟවා ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද ඇමැතිවරයා කීවේය. මේ නිසා මාස දෙකක් තුළදී මෙම පනත සකස් කර අවසන් කර ඒ අනුව සහල් තොග අත්පත් කර ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය.




මෙම පනත කඩිනමින් සකස් කිරීම සම්බන්ධයෙන් ඉකුත් සඳුදා පැවැති කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡාවට ලක්ව තිබේ.


ඉකුත් මහ කන්නයේදී (2022/23) මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට හතක කීරි සම්බා හෙවත් ‘‘බී.ජී. 360’’ වී ප්‍රභේදය වගා කර ​ඇති අතර එමගින් කීරි සම්බා වී මෙට්‍රික් ටොන් පන්දහසක අස්වැන්නක් ලබා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.




රටේ දැනට පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟය කෘත්‍රිමව නිර්මාණය කරන ලද බව වෙළෙඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.




ඉකුත් මහ කන්නයේදී හෙක්ටෙයාර් ලක්ෂ අටක වී වගා කර ඇති අතර ඉන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක අස්වැන්නක් ගෙන තිබේ. මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. ඒ අනුව රට තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක පමණ අතිරික්තයක් පවතින බවද කෘෂිකර්ම අමාත්‍යාංශය අනාවරණය කරයි.




බතලගොඩ වී පර්‌යේෂණායතනය විසින් කරන ලද පර්‌යේෂණවලින් සොයා ගන්නා ලද බී.ජී. 360 කීරි සම්බා වී ප්‍රභේදය මෙරටට පමණක් ආවේණික වන අතර ලෝකයේ වෙනත් රටවල ඇත්තේ පොන්නි සම්බා පමණි.