සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදි ස්කුරුප්පු ඇණ සහ යකඩ බෝල ගිල්වා දැඩිලෙස පහරදීම නිසා රෝගාතුර වූ මතුගම ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් ගුවන් මගින් ඊයේ (22) අලුයම මෙරටට පැමිණියාය.


ඇය මතුගම නෑබඩ පදිංචි 32 හැවිරිදි රාමචන්ද්‍රන් දර්ශනීය. රෝගාතුර වීමෙන් පසුව අල් ජසීරා ගුවන් සේවයේ ජේ. 9553 දරන ගුවන් යානයෙන් ඊයේ අලුයම 04.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි.


දැඩිලෙස පහරකෑමට ලක්ව ඇති ඇය මෙලෙස කියා සිටියාය.


මම පසුගිය සැප්තැම්බර් මස 17 වැනිදා සෞදි අරාබියේ මදීනාවල නිවෙසක ගෘහ සේවය සඳහා ගියා. ඒ ගෙදර වැඩ කළ සේවිකාව පැනල ගිහිල්ලා. එයාගෙ රෙදි බෑග් සේරම ඒ ගෙදර තිබුණා. ඒ ගෙදර අයිති කාන්තාව මට හැමදාම ගැහුවා, බැණ්නා, පිච්චුවා. ඒත් මම ඒ ගෙදර වැඩ කළා. ඒ ගෙදර පිරිමි ළමයා නාන්න ගිහින් ෂැම්පු හලලා. මම බාත් රූම් එක හෝදන්න ගියාම, ඒවා පෑගිල , මාව ලිස්සල වැටුණා. ඒ වෙලේ මගේ කොන්දයි ඔළුවයි බිම වැදුණා. මට අමාරුයි, වැඩ කරන්න බෑ කිව්වා. බාබා යනකල් ඉඳල, ඒ ගෙදර කාන්තාව මට ගහල, කාමරේකට දාල වැහුවා.



මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල, බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා කිව්වා. බිව්වෙ නැත්නම් මගේ රත්තරන් බඩු ඔක්කොම දාල පොලිසියට අල්ලල දෙනවා කියල ඒ ගෙදර ගෑනු කෙනා කිව්වා. මම බයට ස්කුරුප්පු ඇණ සහ යකඩ බෝල බිව්වා. එතකොට එක ඇණයක් මගේ උගුරෙ හිර වුණා. මට හුස්ම ගන්න බැරි වුණා.



මම මේ ගැන ලංකාවෙ ඒජන්සියට කතා කරල කිව්වම, ඒකෙ හිටිය කාන්තාව මට කුණුහරුපෙන් බැණල, ඒ ගෙදරට ගිහින් වැඩ කරපිය කියල කිව්වා. “යැයි ඇය හැඬූ කඳුලින් කියා සිටියාය.


දර්ශනී රැගෙන යාම සඳහා ඇයගේ ස්වාමිපුරුෂයා වූ මාරිමුත්තු නිලන්ත කුමාර කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියේය. ඔහු එම ප්‍රදේශයේ වෘත්තියෙන් පොල් කඩන්නෙකි.