රීර කෘත්‍යක් සඳහා පාණදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැසිකිළියට ගිය ප්‍රසිද්ධ හිමි නමක් රාජකාරි භාර කාන්තා සැරයන්වරියකට බැණවැදී පොලිසිය තුළ කලහාකාරීව හැසිරී ඇත.

ඊයේ (03) දහවල් පාණදුර දකුණ පොලිසියේ කාර්ය භාර නිලධාරිනිය ලෙස රාජකාරි කළ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් සඳමාලී (4279) මෙසේ හිමියන්ගේ බැණ වැදීමට ලක්ව ඇති බව සඳහන් වේ. විද්‍යුත් සහ යූ ටියුබ් නාළිකාවල ආකර්ෂණීය ලෙස ධර්ම දේශන සිදුකරන ප්‍රසිද්ධ හිමිනමක පාණදුර දකුණ පොලිසියට පැමිණ සිටියදී ඇති වූ ශරීර කෘත්‍යයක් සිදුකර ගැනීමට කොස්තාපල්වරයකුගේ සහායෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැසිකිළියට ගොස් ඇත.

ඒ මොහොතේ සැරයන් සඳමාලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවන් සම්බන්ධයෙන් ලියකියවිලි සකස් කරමින් සිට ඇති බවත්, වැසිකිළියට ගොස් එමින් සිටි හිමියන් තමන් වහන්සේව නිසි පිළිගැනීමකට ලක් නොකළ බව පවසමින් සැරයන්වරියට බැණවැදී ඇති බවත් සඳහන් වේ. ඇයට බැණවැදුන හිමියන් ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කරන බව ද සඳහන් කර ඇති බව පැවසේ. ඇයට බැණවදින අවස්ථාවේ පොලිස් සාමාජිකයින්, සේවා ලබාගැනීමට පැමිණ සිටී අයවලුන් මෙන්ම සිරමැදිරිවල රඳවා සිටින සැකකරුවන් ද විමතියෙන් බලාසිටි බව ද සඳහන් වේ.

එම අවස්ථාවේ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා රාජකාරි කටයුත්තක් සඳහා පිටව ගොස් සිට ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා සැරයන්වරිය පොලිස් සටහන් පොතේ තමන් පත්වූ අපහසුතාවය ගැන සටහන් කර ඇති බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අදාළ හිමියන්ගෙන් විමසීමේදී සඳහන් කළේ තමන් වහන්සේ මවගේ දානමය පින්කමට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ආරාධනා කිරීමට ගිය අවස්ථාවේදී හදිසියේ වැසිකිළියට ගිය බවත්, සැරයන්වරිය තමන් වහන්සේට ද බැණ වැදුන බවත් මේ බව ඉහළටම පැමිණිලි කරන බවත්ය.