සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි.



ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.


ෂැංග්‍රිලා හෝටලය සතු ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් අපේ රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කර තිබේ.



ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තය තුළින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත.


රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ උරුමය ලබාදීමක් මෙන්ම රජයේ ස්තුතිය පුදකිරීමක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ.


“උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.



විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා මෙරට ස්වදේශික ජනතාව වෙත බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.


නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. 



නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම් හිමි ජනතාවට නොතිබිණි.


මෙතෙක් කල් පැවති ජයභූමි ,සෞම්‍ය භූමි,ස්වර්ණභූමි ඇතුළු සියලු ඔප්පු වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීම 2024 අය වැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කර තිබේ.


ඒ අනුව මෙම ඔප්පු ලබා ලබාදීමේ වැඩපිළිවෙල 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.