කෑගල්ල මහ රෝහලේ මානසික රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටුවේ බිත්තියක සවි කර තිබුණු විශාල රූපවාහිනී යන්ත්‍රය ඊයේ (03) පෙරවරුවේ රෝගියෙක් විසින් පොළොවේ ගසා හානිකර තිබේ.

මෙලෙස බිත්තියක සවි කර තිබුණු රූපවාහිනියක් ගලවා හානි කර ඇත්තේ පස්යාල බටලීය ප්‍රදේශයේ පදිංචිව සිටින 40 හැවිරිදි මානසික රෝගියෙකි.

කෑගල්ල මහ රෝහලේ මානසික රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන අංක 18 වාට්ටුව වෙනම ස්ථානයක ස්ථාපිත කර ඇති අතර පෙරේදා (02) පස්යාල බටලීය ප්‍රදේශයේ 40 හැවිරිදි මානසික පිරිමි රෝගීයෙක් නේවාසිකව ප්‍රතිකාර ලබා දීමට කෑගල්ල මහ රෝහලේ මානසික රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවට ඥාතීන් විසින් ඇතුළත් කර තිබේ.

නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියා ඊයේ (03) විශේෂඥ වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ දී ප්‍රතිකාරවලට උරණ වී බිත්තියේ ඉහළ සවි කර තිබුණු රූපවාහිනිය අසලට ගොස් උඩ පැන ගලවා ගත් රූපවාහිනිය ගෙන පොළොවේ ගසා තිබේ.

රූපවාහිනි යන්ත්‍රයට හානි කිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට වාට්ටුව මඟින් පොලිසිය දැනුම්වත් කර ද තිබේ.