සාමාන්‍ය පුද්ගලයකුට වඩා දියවැඩියාව සෑදුණු පුද්ගලයන්ට හෘදයාබාධා සහ ආඝාතය සැදීම සිව්ගුණයකින් වැඩි බව අනාවරණය වෙයි .


නොවැම්බර් මස දාහතරවැනිදාට යෙදන ලෝක දියවැඩියා දිනයට සමගාමීව දියවැඩියා රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධව ඊයේ (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති, කරාපිටිය ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මුදිතා වීරක්කොඩි ප්‍රකාශ කළේ මේවනවිට බොහෝ දෙනකුට වකුගඩු රෝගය සහ අන්ධභාවය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ දියවැඩියා රෝගය බවය.



ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 14.6% පමණ ප්‍රමාණයක් දියවැඩියා රෝගීන් ලෙස වාර්තා වේ.


දියවැඩියාවේ ප්‍රභේද කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඉන් ප්‍රමුඛවන්නේ පළමු වර්ගයේ දියවැඩියාව සහ දෙවන වර්ගයේ දියවැඩියාවයි.



නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වාගැනීම, ව්‍යායාම හා නිවරදි සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් ගත කිරීමෙන් (දුම්වැටි, මත්ද්‍රව්‍ය, මත්පැන්වලින් වැළකීම) දියවැඩියාව මුල් අවස්ථාවේදී සුවකළ හැකි බවද මෙහිදී වෛද්‍යවරු පෙන්වා දුන්නේය.



සෑම දස දෙනකුගෙන්ම එක් අයකු දියවැඩියා රෝග තත්ත්වයෙන් පෙළෙන බවටද මේ වන විට හඳුනාගෙන ඇත. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් තුන් දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැලඳී ඇති අතර එය සියයට තිස් එකක ප්‍රතිශතයක් බවද වෛද්‍ය පර්යේෂණ ආයතනය, රුහුණු සහ රජරට විශ්වවිද්‍යාලය සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබේ.