ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට අධිකරණය මගින් තීන්දු කිරීම නිසා ඒ මහතාගේ ඝාතකයන් කඩිනමින් හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා.


ෂාෆ්ටර් මහතාගේ ඝාතකයින් සොයාගැනීම සඳහා ෂාෆ්ටර් මහතාගේ මරණයෙන් පසු රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණවලට අදාළ රස පරීක්ෂක වාර්තා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගත් ෂාෆ්ටර් මහතාට හා ඔහුගේ සමීපතමයන්ට අයත් දුරකථනවල හා ෂාෆ්ටර් මහතාට අයත් අයි පෑඩයෙන් ලබාගත් තොරතුරු පිළිබඳව අවධානය යොමුකර තිබේ.

විශේෂයෙන් ෂාෆ්ටර් මහතා මිය යෑමට පෙර ඔහු විසින් සිය අයි පෑඩයේ සටහන් කර ඇති තොරතුරු රැසක් කෙරෙහි විමර්ශකයන්ගේ දැඩි අවධානයට ලක්වී තිබේ.

එමෙන්ම, ඒ මහතාගේ මරණය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තා කෙරෙහි ද විමර්ශකයන්ගේ අවධානය යොමුව ඇති බවද වාර්තාවෙයි.

සිද්ධිය වූ දින අදාළ වාහනයේ තිබී දුරකථ කේබල් කැබැල්ලක් සොයාගත් අතර එම කේබල් කැබැල්ලේ කොටසක් ඒ මහතාගේ නිවසේ තිබී සොයා ගත් අතර එම කොටස් එකම කේබලයක කොටස් බවට රස පරීක්ෂකවරයා තහවුරු කර තිබීම, ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කිරීම සඳහා යොදා ගැනුන බවට සැක බෑග් පටි සිරකිරීම සදහා භාවිත කරන 'ටැග් එක’ හා සමාන තවත් ටැග් 9ක් ෂාෆ්ටර් මහතාගේ නිවසේ තිබී පොලීසිය විසින් සොයාගැනීම හා එම ටැග් එකම ස්ථානයකින් ගත් ටැග් බවට රසපරීක්ෂකවරයා තහවුරු කර තිබීම, එම ටැග් 10 ෂාෆ්ටර් මහතා විසින් නිවසේ සේවය කරන සේවකයකු ලවා බම්බලපිටියේ පිහිටි අලෙවි සැලකින් මිලදී ගෙන තිබෙන බවට හෙළිවී තිබීම,ෂාෆ්ටර් මහතා මියගිය ස්ථානයේ තිබී සොයාගත් ටැග් එක මත දත් පහරක් තිබීම හා එම දත් පහර ෂාෆ්ටර් මහතාගේ දතක පහරක් බව රසපරීක්ෂකවරයා තහවුරු කර තිබීම, ඒ මහතාගේ උදරයේ සයිනයිඩ් ප්‍රමාණයක් අඩංගු බවට රස පරීක්ෂණ වාර්තාවල සඳහන් වීම යනාදී වශයෙන් වාර්තා වී තිබූ මූලික කරුණු කෙරෙහි විමර්ශකයින්ගේ දැඩි අවධානය යොමුවී ඇති බවද වාර්තාවෙයි.

එමෙන්ම ඒ මහතා මිය යෑමට පෙර ඔහුගේ අයි පෑඩයේ සටහන් කර තිබූ ඒ මහතාට අයත් දෙස් විදෙස් ජීවිත රක්ෂණාවරණ, වත්කම් හා පුද්ගලික තොරතුරු පිළිබදව ද විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ.