කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරියක ලෙස සේවය කළ වෛද්‍යවරියක 2019 වසරේ දී සිංගප්පූරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගෙන ඇතත් මාස අටක කාලයක් මෙරට රැඳී සිටිමින් එම විදේශ පුහුණු දීමනාව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මගින් පත් කෙරුණු අනුකාරක සභාවේ දී තොරතුරු අනාවරණය වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 

විගණන නිලධාරීන් අනු කමිටුවට දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය ලේකම්වරයා අමාත්‍යංශයේ විමර්ශන අංශයෙන් නිර්දේශයක් නොගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දී ඇති නිර්දේශයක් මත මෙම නිලධාරිණිය සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බවය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් වහාම දෙන ලෙස කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.