පොල් ගෙඩි පහරට දරුවගෙ ඔළුව ඉදිමිලා – දරුවාගේ පියා

ගහලා නෑ: පොල් ගෙඩිය ඔළුවට තියා විහිළු කරලා -විදුහල්පතිනිය

හැටන් ෂැනන් විදුහලේ සිසුවකුට එම විදුහලේ ගුරුවරියක් පොල් ගෙඩියකින් හිසට පහර දීමකට එරෙහිව එම සිසුවාගේ පියා ඇතුළු පිරිසක් ඊයේ (01) එම විදුහල ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

එම විදුහලේ සිසුන් සඳහා විභාගය පැවැත්වෙන බැවින් මෙසේ නිහඬ උද්ඝෝෂණයක් පවත්වා තිබේ. එහිදී පහර කෑමට ලක්වූ සිසුවාගේ පියා වන ක්‍රිෂ්ණකුමාර් මහතා මෙසේ පැවසීය.

Òමගේ දරුවා වන ක්‍රිෂ්ණකුමාර් පවිත්‍රන් යන අය හැටන් ෂැනන් විදුහලේ 8 වැනි වසරේ ඉගෙනුම ලබනවා. පසුගිය සඳුදා විභාගය පවත්වලා විදුහලේ සරස්වතී පූජාව පැවැත්වීමෙන් පසු විභාගයේ ප්‍රශ්න පත්‍රයට වැරදි ලියලා කියලා ගුරු මහත්මියක් මගේ පුතාගේ ඔළුවට පොල් ගෙඩියකින් ගහලා තියෙනවා. එදා පුතා ඒ ගැන මොකුත් කිවුවේ නැහැ. ඒත් පුතා අසනීප ගතියෙන් ඉන්න බව තේරුණා. දින දෙකක් හරියට නිදා ගත්තෙත් නැහැ. මම පුතාගේ ඔළුව අතගගා මොකද කියලා අහන විට මට දැනුණා පුතාගේ ඔළුව ඉදිමිලා තියෙන බව. පසුව මම මගේ අම්මට පැවසුවා මේ පිළිබඳව පුතා මට මොකුත් කියන්නේ නැහැ එම නිසා මේ පිළිබඳව අහන්න කියලා.

මගේ බිරිය රට රැකියාවක නිරතව සිටින නිසා මගේ අම්මයි නංගියි අපි එක ගෙදර ඉන්නේ. එම නිසා මගේ අම්මා මේ ගැන පුතාගෙන් අහන විට පුතා මගේ අම්මගෙන් අහලා තියෙනවා පොල් ගෙඩියකින් ඔළුවට ගහපුවම මොකද වෙන්නේ කියලා. පසුව අම්මා නංගිට කියලා තියෙනවා මේ ගැන අහලා බලන්න කියලා. නංගි මේ ගැන අහනකොට තමයි පුතා මේ ටීචර් පොල් ගෙඩියකින් ගහපු කතාව කියලා තියෙන්නේ. මම පුතාව ඉස්කෝලේට එක්ක ඇවිත් මේ ගැන විදුහල්පතිනියට පැවසුවා. පසුව මේ පිළිබඳව එම පංතියේ ළමුන් ගෙන්වලා අහන විට මුලින් කීවේ කෝටුවකින් ගැහුවා කියලා. පස්සෙ ළමුන් කිහිප දෙනෙක් කිවුවා පොල් ගෙඩියකින් ගැහුවේ නැහැ පොල් ගෙඩියක් දෙපාරක් ඔළුවට තියලා විහිළු කළා කියලා. තව කිහිප දෙනෙක් මට කිවුවා බය නිසා කිවුවේ නැහැ, ටීචර් පොල් ගෙඩියකින් ඔළුවට ගැහුවා කියලා. පසුව මම හැටන් පොලිසියේ පැමිණිල්ලක් දාලා පුතාව දික්ඔය ග්ලැන්කන් රෝහලට ඇතුළු කළා. පුතා තවම රෝහලේ ප්‍රතිකාර ලබනවා. මම කියන්නේ මෙම ගුරුවරියට එරෙහිව නිසි පරීක්ෂණයක් පවත්වන්න කියලයි.’

මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ එම විදුහලේ විදුහල්පතිනී එස්. විජයන්ති මහත්මිය මෙසේ පැවසුවාය.

Òසිකුරාදා තමයි දරුවාගේ පියා දරුවාව එක්ක ඇවිත් මේ ටීචර් කෙනෙක් පුතාට පොල් ගෙඩියකින් ගහලා තියෙනවා කියලා කිවුවේ. 23 වැනි දින මෙය සිදු වුණු බවත් ඔහු පැවසුවා. මෙම සිසුවා අඟහරුවාදා හා බදාදා යන දින දෙකෙත් පාසල් ඇවිත් සෙල්ලම් කරලා තවත් ළමයකුට ගැහුවා කියලා ප්‍රශ්නයකුත් තියෙනවා.

පසුව මම අදාළ ටීචර්ගෙන් මේ ගැන අහන විට ටීචර් කිවුවේ ගැහුවේ නැහැ කියලා. පසුව මේ පිළිබඳව එම පංතියේ ළමුන් ගෙන්වලා අහන විට ළමයිත් කිවුවේ ගැහුවේ නැහැ පොල් ගෙඩිය ඔළුවට තියලා ටීචර් විහිළු කළා කියලයි. එතැනදි මෙම පියා ඒ ළමයින්ට සැර කළා. ළමයාගේ ඇස් දෙක රතු වෙලා නිසා මම ක්‍රිෂ්ණකුමාර්ට කිවුවා ළමයට ඇස් ලෙඩද දන්නේ නෑ, ඒ නිසා වෛද්‍යවරයකුට පෙන්වන්න කියලා. ගිය සිකුරාදා මේ පිළිබඳව ක්‍රිෂ්ණකුමාර් හැටන් පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා. මම ළමයා බලන්න රෝහලට ගියාමත් තාත්තා කිවුවේ අපි මෙය විදුහලේදී විසඳා ගනිමු කියලයි.’