ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාව කරපින්නාගත් කණ්ඩායමක් ලෙසින් අතීතයක් හිමි දකුණු අප්‍රිකාව සහ එක්දින ලෝක කුසලාන 5ක උරුමකරුවන් වන ඔස්ට්‍රේලියාව 2023 එක්දින ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා අද (16වැනිදා) ඊඩ්න් ගාර්ඩ්න්හි තරග වදිනු ඇත.


1992, 1999, 2007 සහ 2015 යන වසරවලදී එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව වටයන්ට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකානුවන්ට එය සිය ඉහළම ලෝක කුසලාන දක්ෂතාව කරගනිමින් සෑහීමකට පත්වීමට සිදු විය.



ඒ අතරට ජය පෙනෙන මානයේදී කාලගුණයෙන් බාධා එල්ල වූ 1992 තරගය මෙන්ම ලකුණු සම වී පරාජයට පත් වුණු 1999 තරගයද ඇතුළත් වේ.


ලෝක කුසලාන ජයග්‍රහණයන්ගෙන් අඩුවක් නොවන ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශූරතා ගණනකට හිමිකම් කියන කණ්ඩායම වේ.



මෙම කණ්ඩායම් දෙක මීට පෙර එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරග දෙකකදී මුණගැසී ඇත. එලෙසින් හමුවූ 1999 සහ 2007 යන දෙවරම ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව සතු විය.


මෙවර තරගාවලියේ ඉන්දියාවට පමණක් දෙවැනි වූ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 14ක් සමගින් මූලික වටය අවසන් කරද්දී ඔස්ට්‍රේලියාවද ප්‍රසාද ලකුණු 14ක් රැස් කර දළ ලකුණු වේගය අනුව තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.



ක්වින්ටන් ඩි කොක්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා සහ ගෙරල්ඩ් කොයිට්සි වැනි දෙපිලේම පිතිකරුවන් සහ පන්දුයවන්නන් තරගාවලියේදී ඉතාමත් හොඳින් දක්ෂතා දක්වමින් සිටින අතර කරට කර සටනක් නිසැකයෙන්ම බලාපොරොත්තු විය හැක.



මේ අතර තරගය පැවැත්වෙන කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයට වැසි පතිත වීමේ යම් සම්භාවිතාවක් පවතින බව පුරෝකථනය කර ඇත.


යම් හෙයකින් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අතිරේක දිනයක් අවශ්‍ය වුවහොත් පසු දින ඒ සඳහා ලබා ගැනීමට හැකියාව පවතී.



එදිනටද තරගය ප්‍රතිඵලයකින් තොරව අවසන් වුවහොත් මූලික වටය ඉහළින්ම අවසන් කළ කණ්ඩායම අවසන් මහා තරගයට පිවිසෙනු ඇත.


එනම් දකුණු අප්‍රිකා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු වේ. තරගාවලියේ මේ දක්වා මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරග දෙස බැලූ කල වේග පන්දු යවන්නන්ගෙන් වැඩි දක්ෂතා බලාපොරොත්තු වීමට හැකියාව පවතී.



ක්‍රීඩා කළ හැකි දකුණු අප්‍රිකා කණ්ඩායම -


ක්වින්ටන් ඩි කොක්, ටෙම්බා බවුමා, රසී වැන්ඩර් ඩුසේන්, ඒඩන් මර්ක්රම්, හෙන්රිච් ක්ලාසෙන්, ඩේවිඩ් මිලර්, මාර්කෝ ජැන්සන්, ගෙරල්ඩ් කොයිට්සි, කෙෂව් මහරාජ්, ලුන්ගි න්ගිඩි, කගීසෝ රබාඩා



ක්‍රීඩා කළ හැකි ඔස්ට්‍රේලියා කණ්ඩායම -


ට්‍රැවිස් හෙඩ්, ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ස්ටීවන් ස්මිත්, මාර්නෂ් ලබුශේන්, ජෝෂ් ඉන්ග්ලිෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, ජෝෂ් හෙසල්වුඩ්, ඇඩම් සම්පා