මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න නිවසකදී මියගිය බව පැවසෙන කාන්තා මළ සිරුරක් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට පෙර පෞද්ගලික රෝහලකට අයත් ගිලන් රථයකින් සැක කටයුතු ලෙස මල් ශාලාවකට අයත් අවමංගල්‍ය රථයකට මාරු කිරීමේ සිද්ධියක් (06) තලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ බව තලංගම පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාතීන් හා මල් ශාලා රියැදුරු ගෙන්වා ප්‍රකාශ සටහන් කොට ගෙන සැක දුරු වීමෙන් පසුව මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට තලංගම හදිසි මරණ පරීක්ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය නියෝග කළ අතර ගිලන් රථය අයත් පෞද්ගලික රෝහලේ කාර්ය භාරව ක්‍රියා කළ වෛද්‍යවරයා (07දා) කැඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට ද මරණ පරීක්ෂකවරිය පොලිසියට නියෝග කළාය. 

මෙසේ මියගොස් ඇත්තේ තලවතුගොඩ හෝකන්දර පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පදිංචි 67 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි. මෙම කාන්තාවට හට ගෙන තිබූ නොනවතින ඉක්කාවක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට යාම සඳහා ඉකුත් 06 දින උදෑසන සුදානම් වන අවස්ථාවේදී එක්වරම ඇයට ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ රෝහලකට දන්වා එහි කාර්ය මණ්ඩලයක් නිවසට ගෙන්වාගෙන රෝගියා රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී රෝගී කාන්තාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය මිය ගොස් ඇති බවයි.

 ඒ අනුව රෝහලට රැගෙන ඒමට පෙර මිය ගොස් තිබූ නිසා මෘත දේහය යළි නිවසට රැගෙන යන ලෙසට රෝහල් කාර්ය මණ්ඩලය ඥාතීන්ට දන්වා ඇති අතර පසුව එම ගිලන් රථයෙන්ම දේහය නිවසට රැගෙන ගොස් තිබේ. පසුව මහල් ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ නිවස පිහිටා තිබීම නිසා දේහය ඒ තුළට රැගෙන යාමට පරිශ්‍රමයක් දැරිය යුතු නිසා ඉදිරි කටයුතු සිදු කරන තෙක් සැලකිය යුතු වේලාවක් දේහය ගිලන් රථයේම තැබීමට ඥාතීන් පියවර ගෙන තිබේ. ඒ අතරවාරයේදී ගිලන් රථයට වෙනත් රෝගී සත්කාරක සේවාවක් සඳහා පිටව යාමට සිදුවීම නිසා නිවැසියන් බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් අවමංගල්‍ය රථයක් ගෙන්වා ගෙන සිරුර එම රථයට මාරු කර ඇති බව පොලිසිය පවසයි. 

ඉන් පසුව එම රථයේ රියැදුරු මියගිය කාන්තාවගේ මරණ සහතිකය ඉල්ලා සිටීමේදී ඒ වන තෙක් මරණ පරීක්ෂණ කටයුතු සිදු කර නොතිබීම නිසා අවමංගල්‍ය රථ රියැදුරු පත් වු අපහසුතාවත් සමග ඉදිරි මරණ පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හා පොලිසිය දැනුවත් කිරීමට ඥාතීන් පියවර ගෙන තිබේඒ අනුව සිද්ධිය වූ ස්ථානයට පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කොට අදාළ සිදුවීම තලංගම හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය දැනුවත් කිරීමෙන් පසුව කිසියම් පුද්ගලයකු හෝ කාන්තාවක් මියගිය අවස්ථාවකදී පොලිසිය දැනුවත් කොට මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ යුතු වුවත් එසේ නොකොට ගිලන් රථයකින් වෙනත් රථයකට මාරු කිරීම වැනි ක්‍රියා සිදු කිරිම සැක කටයුතු සිද්ධියක් බැවින් මින් ඉදිරියට එසේ නොකරන ලෙසට අවවාද කොට ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලදීපරීක්ෂකවරිය ඒ අනුව තලාගම හදිසි මරණ පෞද්ගලික මල් ශාලාවේ රියැදුරු හා මියගිය කාන්තාවගේ ඥාතීන් කැඳවා සාක්ෂි විමසා මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර ඉන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.

 ඊට අමතරව ගිලන් රථයකින් රෝහලට රැගෙන ගොස් යළි නිවසට රැගෙනවිත් වෙනත් රථයකට මාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පෞද්ගලික රෝහලේ එදින කාර්යභාර වෛද්‍යවරයා (07දා) කැඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට ද හදිසි මරණ පරික්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කළාය. ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (07දා) කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ දී සිදු කිරිමට නියමිතව තිබුණි. සම්බන්ධයෙන් තලංගම පොලිසියේ සිද්ධිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පො.කො. (29091) සේනාධීර නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.