ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වැනි සංවත්සර සැමරුම අදට (03) යෙදී ඇත.


ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම පක්ෂයේ සංවත්සර සැමරුම බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමටයි සැලැසුම් කර ඇත්තේ.


ඒ, පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන අයගේ ප්‍රධානත්වයෙන්.



එමෙන්ම අද රාත්‍රියේ මහා සංඝරත්නය සියක් නමක් සහභාගිත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද සංවිධාන කර ඇති බව සඳහන්.


එමෙන්ම හෙට (04) මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.


මේ අවස්ථාවට මැති ඇමැතිවරු, පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.


මහජනතාව අතර ඉමහත් ප්‍රසාදයට ලක්ව තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ දේශපාලන පෙරළියක නව හැරවුමක් සනිටුහන් කරමින් 2016 නොවැම්බර් 03 වැනිදා ආරම්භ කෙරුණේ

ඒ, එම පක්ෂයේ ජාතික සංවිධායක හා හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ ගේ මූලිකත්වයෙන්.



මෙම පක්ෂය ගත වූ වසර හතක කාලය තුළ පළාත් පාලන මැතිවරණයක්, ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට ද සමත් වීමත් විශේෂත්වයක්.



මෙම පක්ෂය නිර්මාණය කර කෙටි කලකින් මෙරට දේශපාලන ඉතිහාසයේ කිසිවකුට සිදු කළ නොහැකි වූ දැවැන්තම මැයි දින රැලිය සංවිධාන කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ.



මෙම පක්ෂය මඟින් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්ව පළාත් පාලන මැතිවරණයෙන් සියයට 85ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.



මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා 69 ලක්ෂයක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්දයෙන් ඉතිහාසගත වාර්තාවක් තබමින් ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට මෙම පක්ෂය මඟින් හැකි වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළ සිටියේ.