වුලගල ලීමගහකොටුව ප්‍රදේශයේ දිගු කලක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසල තේ ගබඩාවක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පෙරේදා (02) සමත්ව විය.

කසල තේ කිලෝ ග්‍රෑම් 6,652ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකිව තිබේ.

කසල තේ කිලෝ ග්‍රෑම් 6,652 ගබඩා කරගෙන සිටි ලීමගහකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පොළ තේ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දී ඇත.

සිලෝන් ටී නමින් ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ තේවලට ඇති ඉල්ලුම පහත හෙළිමට මෙම කසල තේ මඟින් සිදුවන හානිය අතිමහත්ය. මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින විශේෂ කාර්ය බළකාය නිරන්තරයෙන් මෙම කසල තේ ජාවාරම්කරුවන් සම්බන්ධව විමසිලිමත්ව සිටිමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලබයි.මෙ වනවිට විශේෂ කාර්ය බළකාය මෙවැනි වැටලීම් බොහෝ ප්‍රමාණයක් සිදු කර ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදෙස් විනිමය ගෙන එන තේ කර්මාන්තය සුරකීමට සෘජු දායකත්වයක් ලබා දී ඇත.

විශේෂ කාර්ය බළකායේ ගම්පොළ කඳවුරේ නිලධාරීන්ට අණදෙන නිලධාරීතුමාගෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි නුවර කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගම්පොළ කඳවුරේ උප පොලිස් පරික්ෂක ඊ.ඩී.එස්. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.