2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා පිළිබඳවත් මෙරට සකස්විය යුතු ප්‍රතිපත්ති පිළිබඳවත් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඇතුළු මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් සමග රජයේ මුදල් පිලිබඳ කාරක සභාව විශේෂ සාකච්ජාවක් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී.,


ඒ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙනි.


අයවැය යෝජනා තුළින් අඩු අවධානය යොමුව ඇති, නමුත් සම්පුර්ණ අවධානය යොමුවිය යුතු අංශ ගණනාවක් ගැන මෙහිදී සිවිල් සංවිධාන නියෝජිතයන් කරුණු පෙන්වා දෙන ලදී. එහිදී කාන්තා සුබසාධනට යොමුව ඇති අඩු අවධානය නිසා ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ඔවුහු කාරක සභාව දැනුවත් කළහ. පාසැල් ගැහැණු ළමුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා පිළිබඳව කාරක සභාව තුළ දීර්ඝව සාකච්ජා විය.



ඒ අනුව සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් අවශ්‍ය, පාසල් ගැහැණු ළමුන් සංඛ්‍යාව නිවැරදිව හඳුනා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.



මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති බවත් ඉන් වයස 16ට අඩු ගැහැණු ළමුන් 22 ක් ගැබ්ගෙන ඇති බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව ළමන් සඳහා ලිංගික අධ්‍යපනය ලබාදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම ඉතාමත් කාලීන අවශ්‍යතාවයක් බව සිචිල් සංවිධාන නියෝජිතයින් කරුණු දක්වමින් පැවසුහ.



එමෙන්ම මෙරට වැඩිහිටි රැකවරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය වියයුතු බවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මානසික සෞඛ්‍ය වර්ධනය උදෙසා පවතින පැරණි පනත සංශෝදනය කරමින් වර්තමානයට ගැලපෙන අයුරින් සකස්වීමේ අවශ්‍යතාවය සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.



මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත වීරසුමන වීරසිංහ හා සිවිල් සංවිධන නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.