2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයට, මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ තුනකට අදාළව රුපියල් බිලියන 31ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.


ඒ අනුව මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයට අදාළවයි.



කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් 2023 වසරේ අයවැය සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.



ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාස දෙකක් සහ මාසයක් අතර කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.



 අනුව ජනාධිපතිවරණය 2024 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස අතර වූ කාලයේදී පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු දෙක හමාරක් ඉක්ම වූ පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල තිබෙන බවත් ඒ අනුව ලබන වසරේ ඕනෑම කාලයක ජාතික මැතිවරණ පැවැත්වීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළේය.



ඒ අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කරන විට සහතික කරන ලද ඡන්ද හිමි නාම ලේඛනයට අනුව, 2024 වසරේ ජාතික මැතිවරණ පැවැත්වෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.



මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව සමස්ත ඡන්දහිමියන් සංඛ්‍යාව 16,855,000ක් පමණ වන අතර ඉකුත් වසරේ (2022) ඡන්ද හිමියන් සංඛ්‍යාවට වඩා මේ වසරේ ඡන්ද හිමියන් සංඛ්‍යාව එක් ලක්ෂ හැට දහසකින් පමණ ඉහළ ගොස් ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.