ගතවූ මාස නවය තුළ වයස අවුරුදු දාහතරට අඩු පාසල් සිසුන් එකසිය විසිදෙනකු හට ලාදුරු සැදී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.




ඉන් වැඩිම සිසුන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව තිස් එකකි.



එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පාසල් සිසුන් දහඅටදෙනකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එකොළොස්දෙනකු හඳුනාගෙන තිබේ.



මෙම කාලය තුළ දිවයිනෙන්ම ලාදුරු රෝගීන් එක්දහස් එකසිය පනහක් වාර්තා වී තිබේ.


ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර ප්‍රකාශ කළේ ලාදුරු නිට්ටාවට සුව කළ හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසය.


ලාදුරු රෝග ලක්ෂණ මතුවීමට වසර තුනත් පහත් අතර කාලයක් ගතවන අතර සතියකට පැය විස්සත් තිහත් අතර කාලයක් ලාදුරු රෝගියකු නිරෝගි පුද්ගලයකු ළඟින් ඇසුරු කළහොත් එම පුද්ගලයාට ලාදුරු වැලඳීමේ අවදානමක් පවතියි.




තවද ලාදුරු රෝග වැලඳී ඇති බවට සැකයක් ඇති ඕනෑම පුද්ගලයකුට සමෙහි ඇති කැළලේ ඡායාරූපයක් ගෙන වට්ස් ඇප් (whatsApp ) මාර්ගයෙන් එවීමට ක්‍රමවේදයක් සකසා ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. ඒ අනුව 0754434085 දුරකථන අංකයට අදාළ ඡායාරූප ගෙන ලාදුරු හඳුනා ගැනීමේ උපකාර සේවාව වෙත යොමුකරන ලෙස ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේය.




එසේ ලාදුරු බවට සැක සහිත ඡායාරූප එවනු ලබන පුද්ගලයන්ට කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇත.