අම්බලන්ගොඩ පොලිසිය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ පපුව ප්‍රදේශය සපා කමින් බරපතළ තුවාල සිදු කළේ යැයි අම්බලන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද තරුණියක් මෙම මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව් මහතා පෙරේදා (21) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ වලව්වත්ත පාර, මහරගම පදිංචි ජයසිංහ ලියනපතිරණ ප්‍රශාන්ති ගුණසේකර (26) නමැති කාන්තාවයි. ඇය නීතිය හදාරන සිසුවියක් බව ප්‍රශ්න කිරීමේදී පවසා ඇත. ඇය පොලිස් නිලධාරීන් සමඟ බහින්බස් වී ඇත්තේ ද නීති වගන්ති ඉදිරිපත් කරමිනි.

සාපරාධී බලහත්කාරය පෑම, රාජකාරියට බාධා කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලද බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.

පසුගිය සිකුරාදා (20) සවස බීමත්ව රිය පැදවීමේ චෝදනාවකට අදාළව යතුරු පැදියකින් ගමන් ගත් තරුණයන් දෙදෙනෙකු අම්බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් පටබැදිමුල්ල, අම්බලන්ගොඩ පදිංචි අශේන් සෙනෙවිරත්ත (26) සහ තිළිණ බුමේෂ් සෙනෙවිරත්ත (23) යන දෙදෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීමට සැකකාර තරුණිය පොලිසියට පැමිණ තිබේ. ඇය බීමත්ව රිය පැදවීමේ චෝදනාවේ පළමු සැකකරුගේ පෙම්වතිය බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.