ආයතනයක් තුළ කාන්තාවකට ඉතාම අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.



මෙම සිද්ධිය කඳාන පොලිස් වසමේ ආනියාකන්ද පාර, නාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ අදාළ පහරදීම සිදුව ඇත.



ඒ සම්බන්ධයෙන් ඊයේ (14) 118 ට දුරකථන අංකයට ලද තොරතුරක් මත පොලීසිය විමර්ශනයක් සිදුකර තිබුණි.



ඒ අනුව ඊයේ රාත්‍රී කාලයේ දී කඳාන පොලිස් වසමේ ලිප්ටන් පාර, නාගොඩ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ, 36 හැවිරිදි කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.


අත්අඩංගුවට පත්වූ සැකකරු පහරකෑමට ලක්වු තරුණියගේ ළඟම ඥාතීන් වන බව පොලීසිය සඳහන් කරයි.



මෙම අඹුසැමි යුවළ ආනියාකන්ද ප්‍රදේශයේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ වෙළෙඳාම් සිදුකරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම ඥාතිවරයාගේ නිවසේ නැවතී අදාළ ආයතනයේ සේවය කර ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.



සැකකාර යුවළ තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ඇය විසින් පොලීසියට පැමිණිලි කර නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පොලීසියට පැමිණි කිරීමට තීරණය කළ බව පහරකෑමට ලක්වූ තරුණිය පවසා ඇත.