ජැක්සන් ඇන්තනී කියන මේ ආදරණීය සහෘද කලා කරුවාගේ වියෝව පිළිබඳව බහුතරයක් දෙනා අදටත් ඉන්නේ කම්පාවෙන්.විවිධ චලනයන්ට සංවේදී වූ ජැක්සන් සුව නොවී මේ ආකාරයෙන් හදිසියේම අප අතරින් වෙන් වුනේ  ඇයි කියලා අහපු අවස්ථාවකදී  ඒ සම්බන්ධයෙන් කුමාරි මුණසිංහ කිව්වේ මේ විදිහෙ ලොකු කතාවක්.

'ජැක්සන් අන්තරා වුණේ විසබීජයක් නිසා ඇතිවුණ නිව්ටෝනියා තත්ත්වයකින්. ICU එකට සාමාන්‍යයෙන් රෝගියෙක් බලන්න යන්න දෙන්නෙ නෑනෙ පවුලෙ කීපදෙනෙක්ට ඇරෙන්න. අපි ඉතාම පිරිසිදුව ඒ ක්‍රියාපටිපාටිය කළේ. ඔය විසබීජෙ යනකල් අපි හරිම පරිස්සමෙන් ජැක්සන්ව බලාගත්තෙ. ජැක්සන්ව වෛද්‍යවරු, හෙදියො බලාගත්තෙ හරිම ආදරෙන්. දිගුකාලීනව ඇඳක ඉද්දි හැදෙන රෝගයක්වක් ජැක්සන්ට හැදුනෙ නෑ. නමුත් ජාතික රෝහලේම ඉන්න යූටියුබ්වලට සම්බන්ධ දොස්තර කෙනෙක් අපේ අවසරයක් නැතුව බොහොම පහත් විදිහට තීරණ අරගෙන ජැක්සන්ව බලන්න යන්න එක එක්නෙකාට ඉඩ දුන්නා. ඒ දොස්තර ලැජ්ජා වෙන්න ඕනෙ මේ කරපු දේ ගැන. එයා ජැක්සන්ට වෙදකම් කරපු කෙනෙකුත් නෙවෙයි

. මට රෝහලෙන්ම ආරංචි වුණා ඔය දොස්තර කට්ටියව ඇතුළට යැව්වා කියල ජැක්සන්ව බලන්න. තව කලාකරුවෙක් කියලා කියගාන්න යූටියුබ් චැනල් එකක් කරන කෙනෙක් ඒ විදිහට ජැක්සන්ව බලන්න ගිහින් දානවා වීඩියෝ එකක් “කුමාරි අක්කේ... මං ගියා ජැක්සන්ව බලන්නනිකන් බොරු කියන්න එපා” කියල. කොහොමද එයා එහෙම ජැක්සන්ව බලන්න ගියේ ICU එක ඇතුළට? ඉතින් විසබීජ නොයා තියෙයිද? ජැක්සන්ගෙ ස්වභාවික ගමන මේක නෙවේ කියල මම හිතනවා. එයාට තව ආයුෂ තියෙනවා කියල හැමතැනින්ම කියල තියෙද්දි ඔහු නැතිවුණේමට දරාගන්න බැරි ඒකයි. ප්‍රසිද්ධ මිනිස්සුන්ව විකුණගෙන සල්ලි හම්බකරගන්නෙ ඇයි මේ මිනිස්සු?

ජැක්සන්ට කවුරුවත් බන්දේසියක තියල ප්‍රසිද්ධියක් දුන්නෙ නෑ. බොහොම සාමාන්‍ය පවුලක ඉපදිලා අමාරුවෙන් කට්ට කාගෙන ආපු ගමනක ප්‍රතිඵලය තමයි ජැක්සන් ඇන්තනී. එයා මේ තැනට එන්න වෙච්ච මහන්සිය ඉස්කෝලෙ කාලෙ ඉඳන් එයා එක්ක හිටපු මම දන්නවා. මම ආයුර්වේදය අත්හැරලා දැම්මෙ ජැක්සන්ට කැම්පස් වැඩවලට උදව් වෙන්න ඕන නිසා. නැත්නම් මම අද ආයුර්වේද වෛද්‍යවරියක්. එච්චර කැපකිරීමක් කරලා හදාගත්ත මනුස්සයව විනාස කරන්න තවත් ඉගෙනගත්තු මිනිස්සුම ඉදිරිපත් වුණ එක ගැන මට හරි පුදුමයි. රටේ මිනිස්සු කොච්චර ජැක්සන්ට බැන්නත් මං කාටවත් වෛර කරන්නෑ. හැබැයි මට මේ පුද්ගලයො දෙන්නා ගැන තියෙන්නේ පුදුම තරහක්.'