Uploading: 5575680 of 8408579 bytes uploaded.




ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට(09) සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දුන්නේය.

ඒ අනුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට(09) සිට බෙදා හැරීමට ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම් විසින් කටයුතු යොදා ඇත. එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට හැකි අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට අලෙවි කිරීමට නියමිත බව කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

මෙවර මහ කන්නයේ දී හිඟයකින් තොරව කළට වේලාවට පොහොර ලබා දීම සදහා රජයට අයත් පොහොර සමාගම් දෙක හා පුද්ගලික අංශය මගින් කටයුතු යොදා තිබේ.

එමෙන්ම ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබා දීමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යුරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇත