“අනේ මගේ රත්තරං දරුවෝ දෙන්නා හොරු අරගෙන ගියා වගෙයි. මගේ දුව මුල්ම පඩිය අරගෙන මට දඹදිව යන්න කියලා එව්වා. මගේ දරුවෝ දෙන්නා උපදින හැම භවයකදීම මගේම දරුවෝ වෙලා ඉපදින්න ඕනෑයැයි මැලේසියාවේදී වූ රිය අනතුරකින් මිය ගිය ශාමිලා රංගනී ගුණතිලකගේ මව වන රූපා රංජනි පතිරණ මහත්මිය හඩා වැළපෙමින් පැවසුවාය.

තිස් තුන් හැවිරිදි ශාමිලා රංගනී සහ තිස් පස් හැවිරිදි ශශික රන්ගොඩ සහ ඔවුන්ගේ සිව් හැවිරිදි සිඟිති දියණියද සමඟ ආහාර ගැනීමට ගොස් යතුරු පැදියකින් නැවත නිවෙසට පැමිණෙමින් සිටියදී සිදු වූ මේ අනතුරෙන් ඔවුන් දෙදෙනා මිය ගොස් දියණිය තුවාල ලබා තිබේ. මෝටර් රථයක් පදවමින් පැමිණි පුද්ගලයකු විසින් ඔවුන්ගේ යතුරු පැදිය පිටුපසින් හප්පා අනතුරට ලක් කර තිබේ. අනතුරට පත් දැරිය මේ වනවිට ඥාතියකුගේ භාරයේ ක්වාලාලාම්පූර්හි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව පවසයි.

ශාමිලා සහ ශශික රන්ගොඩ ඉකුත් වසරේදී මැලේසියාවට ගියේ ක්වාලාලාම්පුර්හි ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කිරීමටයි.

ශාමිලාගේ නිවස පිහිටි ගාල්ල, වඳුරඹ කුඹලමලහේන ප්‍රදේශයට අපි යන විට ඇයගේ මව ඇතුළු ඥාතීන් හඩා දැඩි කම්පනයෙන් හඩා වැටෙන අයුරු දුටුවෙමු.

මිය ගිය ශාමිලාගේ මව හැඩූ කඳුලින් යුතුව මෙසේ මෙසේද කීවාය.

“දරුවත් එක්ක එළියට ගිහින් කෑම කාලා එනකොට තමයි මේ අනතුර වෙලා තිබෙන්නේ. දෙන්නා එතැනම නැතිවෙලා. චූටි දූ තනිවෙලා. අනේ මගේ රත්තරන් දරුවෝ දෙන්නා. ඉස්කෝලේ පන්තියේ හිටපු දක්ෂම දරුව මගේ දුව. මගේ දූගේ මුල්ම පඩිය මට එවලා තිබුණා දඹදිව යන්න කියලා. මේ දෙන්නා මතු උපදින හැම ආත්මෙකම මගේම දරුවො වෙන්න ඕනේ කියලා විතරයි මට කියන්න තිබෙන්නේ.

ඇයගේ මාමා වන ගුණතිලක පතිරණ මහතා මෙසේ කීවේය.

“හදිසි අනතුරකට පත්වෙලා කියලා දැනගත්තේ දුවගේ යාළුවෙකුගේ මාර්ගයෙනුයි. ඒ අනුව අපි විදේශ රැකියා කාර්යාංශයට වගේම තානාපති කාර්යාලයෙනුත් තොරතුරු ලබාගත්තා. ඒ අනුව අපි දැනගත්තා දුව සහ පුතා නැති වෙලා කියලා. දුව සහ පුතා යතුරු පැදි අනතුරට ලක් වෙද්දී සිඟිති දියණිය විසිවෙලා ගිහිල්ලා. දරුවා මේ වනවිට රෝහලක සිටින බව අපට ආරංචියි. මොරටුව විශ්ව විද්‍යාලයේ දුව ඉගෙන ගත්තේ. යාළුවෝ හැමදෙනාම දුව සහ පුතා ගැන හොයලා බලනවා. මේ සිද්ධිය ගැන පෞද්ගලිකවම සොයා බලනවා. තනි වූ දියණිය ගැන හොඳින් සොයා බලනවා කියා අපට දැනුම් දුන්නා.

අනතුරින් මියගිය කාන්තාව වඳුරඹ කුඹලමලහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇයගේ සැමියා ගාල්ල අඟුළුගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය වර්ෂයේ දී මැලේසියාවේ ක්වාලාලාම්පුර් රැකියා සඳහා නීත්‍යානුකූලව ගොස් ඇති මොවුන් දෙදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා පැවසීය.