මීට මාස කීපෙකට කලින් කෙට්ටු පුංචි ගෑනු ළමයෙක් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ඇයට වෙච්චි අසාධාරණයක් ගැන කතා කළා. එවෙලේ, ඒ කෙල්ල ඇඬුවේ නැහැ. හැබැයි ඇස් දෙකේ තිබුණේ ලොකු දුකක්. 


“මම දුවන්න පුහුණු වෙන්න දිගන ක්‍රීඩා පිට්ටනියට ගියා. එතැන පුහුණුවීම් කරන්න රුපියල් 30ක් ගන්නවලු. මගේ අතේ එවලේ රුපියල් 30ක් තිබුණේ නැහැ. පස්සේ එයාලා මට කුණුහරපෙන් බැනලා මාව එළියට ඇදලා දැම්මා.” 


ඒ කතා කළේ මහනුවර, උඩුදුම්බර ගමේ දුවන්න දක්ෂ ගෑනු ළමයෙක්. ඇගේ තාත්තා රියැදුරෙක්. අම්මා පාසල් කාර්ය සහායකවරියක්. උදේ හවස කට්ට කාගෙන බස්වල යන, හැම් බේකන් නොකන මේ ගෑනු දරුවට ඇත්තටම ආර්ථික ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ දේවල් ඇයට අභියෝගයක් වුණේ නැහැ. අභියෝගයක් වුණේ ඔන්න ඔය වගේ අමනුස්ස මිනිස්සු විතරයි. මේ කියන ගෑනු ළමයා ගැන මීට මාස තුනකට විතර කලින් ආයේ කතාබහක් ඇතිවුණා. එදා පිට්ටනියෙන් එළියට දාපු කෙල්ල 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබලා. හැබැයි ඒක නෙවේ කතාව. අදාළ බලධාරීන්, පුහුණුකරු නැතිව ඇයට ඒ තරඟයට යන්න බැහැයි කියලා රට පුරා කතාව ගිය නිසා. අවසාන මොහොතේ පුහුණුකරුට ඇයත් එක්ක තරඟයට යන්න අවසර දුන්නා.


එදා රුපියල් තිහට කුණු බැහුම් අහපු, පුහුණුකරු නැතිව තනියම තරඟයට යන්න කියලා ආඩපාලි අහගත්තු කෙල්ල අවුරුදු 21කට පස්සේ ලංකාවට රත්තරන් පදක්කමක් ගෙනැල්ලා. ඔව්, අපි ​ඔච්චර වෙලා කිව්වේ ඒ රත්තරන් කෙල්ල ගැන තමයි. තරුෂි කරුණාරත්න. 


2002 අවුරුද්දේ දමයන්ති දර්ශා ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් දිනුවා. අවුරුදු ගාණකට පස්සේ ආයෙත් ඒ වගේ රත්තරන් පදක්කමක් අපිට දිනලා දුන්නේ තරුෂි. ඒ මීටර් 800 ඉසව්වෙන්. ඉතින් මෙදා පාර ‘ධරණී’ කවරය දරන්න මීට වඩා සුදුසු කවුද? 


“අවුරුදු 21කට පස්සේ ලංකාවට රන් පදක්කමක් දිනලා දෙන්න පුළුවන් වුණු එකට ගොඩක් සතුටුයි. මොකක්ම හරි පදක්කමක් දිනනවමයි කියලා බලාපොරොත්තු තියාගෙනමයි ගියේ. රන් පදක්කමක් දිනන්න පුළුවන් වුණු එක ගැන ගොඩක් සතුටුයි. මේ අවුරුද්දේ තිබුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ඉසව්වවෙනුත් රන් පදක්කමක් දිනුවා. ඒකත් එක්ක මට මගේ ගැන තිබුණු විශ්වාසය තවත් වැඩිවුණා.”


තරඟය වෙනුවෙන් තරුෂි ගතකරාපු කාලය මිනිත්තු 2:03.20ක්. ඒ ඉසව්වේ දෙවැනි තුන්වැනි තැන් ලබාගත්තේ චීනයයි, ඉන්දියාවයි.


“තරඟය ගැන බයක් තිබුණේ නෑ. ඒ තරමටම මට මගේ ගැන විශ්වාසයක් තිබුණා. තරඟයට කලින් මොකක්ම හරි පදක්කමක් ගන්නවා කියලා හිතුවට තරඟය වෙලාවේ රන් පදක්කමමයි ගන්නේ කියලයි හිතුවේ. මගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සර්ව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. තරඟයට ඔන්න මෙන්න තියලා ‘අද රන් පදක්කම ගන්නේ ඔයා’ කියලා සර් කිව්වා.”


තරුෂි මීටර් 800 දිනලා නැවතුනේ නෑ. ඒ තරඟය අවසන කරලා විනාඩි කිහිපයකට පස්සේ නදීෂා රාමනායක, සයුරි ලක්ෂිමා සහ ජයේෂි උත්තරා එක්ක මීටර් 400×4 සහාය දිවීමේ තරඟයත් නියෝජනය කරලා තවත් ලෝකඩ පදක්කමක් ලංකාවට හිමිකරලා දුන්නා. 


“මගේ ලොකුම ආසාව ඔලිම්පික් නියෝජනය කරන එක. සුසන්තිකා ජයසිංහ අක්කට පස්සේ ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙනැල්ලා දෙන්න මම උපරිම උත්සාහ කරනවා.”


තරුෂි කතා කළේ කට පුරා හිනාවෙලා. මේ රටේ මිනිස්සු ඇයට කුහකකම් කළාට ඇය ඒවා හිතේ තියාගෙන නැහැ. නැත්නම් මේ රට වෙනුවෙන් මෙච්චර ජයග්‍රහණයක් ගෙනැල්ලා දේවිද? තරුෂිට හදවතින්ම සුබ පතලා ඊගාවට අපි ඇගේ අම්මා, නිලූෂිකා දිල්රුක්ෂි එක්කත් ටිකක් කතා කළා.


“දුව තරඟෙට යන්න කලින් මට කතා කළා. ‘අම්මේ මට දිනන්න පුළුවන් නේද?’ ඇහුවා. එයා කතා කරපු ටික වෙලාව ඇතුළත දෙතුන් පාරක්ම ඇහුවේ ඒක. ‘ඔයාට පුළුවන්’ කියලයි එවෙලෙත් මම දුවට කිව්වේ. පස්සේ ‘අම්මේ මං අද රන් පදක්කම ගන්නයි දුවන්නේ, ඒත් ගන්න බැරිවුණොත් අම්මා දුක්වෙන්න එපා’ කියලා පස්සේ දුව කිව්වා. කියන්න සතුටුයි අන්තිමේ මගේ කෙල්ල රන් පදක්කමක් දිනලා.”


තමන්ගේ දරුවෙක් තමන් ඉපදුණු රටට ආඩම්බරයක් ගේන්න ජාත්‍යන්තරය නියෝජනය කරනකොට ඒ අම්මලාගේ හිත් හයියෙන් ගැහෙනවා. එදා ෆෝන් එකකින් තරුෂිගේ තරඟය බලන වෙලාවේ මේ අම්මගේ පපුවත් ගැහුණලු.


“හවස දෙකේ ඉඳන් බුදුපහන පත්තු කරලා ගාථා කිය කියා බලාගෙන හිටියා. ෆෝන් එකත් බුදු පහන ළඟම තිබ්බා. තරඟය පටන්ගත්තහම ඉතිපිසෝ ගාථාව කිය කියා වැඳගෙනයි තරඟය බැලුවේ. දුව දිනුවට පස්සේ කෑ ගැස්සුනා. ජීවිතේටවත් ඒ තරම් සතුටක් මට දැනිලා නෑ. ඒ වුණාට තරඟය සජීවීව බලද්දි මගේ පපුව හිරවෙලා තිබුණේ. මගේ විතරක් නෙවෙයි තරුෂිගේ තාත්තගේ වගේම අපේ ගෙදර හැමෝගෙම එහෙමයි. තරඟය ඉවරවෙලා පැයක් හමාරක් ගියාට පස්සෙත් ඒ ගැස්ම අපිට දැනුණා.”


තරුෂි පුංචි කාලේ ඉඳලා ක්‍රීඩාවට වගේම ඉගෙනුමටත් දක්ෂ දරුවෙක්ලු.


“පුංචි කාලේ ඉඳන්ම දුව දුවන්න දක්ෂයි. පාසල් මට්ටමින් ගොඩාක් ජයග්‍රහණ අරගෙන තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලංකාවට අරන් එන එක තමා එයාගේ හීනේ වුණේ. ඒ වෙනුවෙන් එයා කරපු කැපකිරීම් දන්නේ අපි විතරයි. එයාගේ වයසේ අනෙක් ළමයි එක්ක ගත්තම තරුෂිට ළමා කාලයක් තිබුණෙම නැතිතරම්. මොකද සම්පූර්ණ කාලෙම එයා යෙදෙව්වේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව කියන දෙකට. ඒ කැපකිරීම්වල ප්‍රතිඵල මේ වෙනකොටත් දුවට ලැබිලා තියෙනවා.” 

තරුෂිගේ තාත්තා ඩී.එම්. කරුණාරත්න. රටක් වටින මේ රත්තරන් වටින කෙල්ලට තාම වයස අවුරුදු 19යි. හත වසරට යනකල් පාසල් ගිහින් තියෙන්නේ උඩුදුම්බර චූලාභය මහා විද්‍යාලයට. පස්සේ වලල ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට මාරු වුණාලු. මලල ක්‍රීඩිකාවක් විදියට ඉදිරියට ඇවිත් තියෙන්නේ ඒ ඉස්කෝලෙදි. 


“එයාට තව අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. ඒ දෙන්නටත් හොඳට දුවන්න පුළුවන්. පුතාගේ නම හර්ෂ කරුණාරත්න. එයත් මීටර් 800, 400 දුවනවා. අයියා නිසා තමා තරුෂිත් දුවන්න ගත්තේ. දුවන්න පටන්ගන්නකොට දුවට අවුරුදු හයයි.” එන ජනවාරි මාසේ තරුෂි උසස්පෙළ ලියනවලු. කොච්චර අමාරු වුණත් ඉගෙනීමයි ක්‍රීඩාවයි සමබරව කරගෙන යන්න තරම් ඇය දක්ෂයිලු.


“අපිට පුළුවන් විදියට දුවට ක්‍රීඩාව පැත්තෙන් ඉස්සරහට යන්න උදව් කරනවා. ඒ වගේම දුවගේ පිටිපස්සේ දුවට ශක්තියක් වෙන ලොකු පිරිසක් ඉන්නවා. ඒ අයටත් මං මේ වෙලාවේ ස්තූති කරනවා. මතක් කරන්න ඕනේ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මැතිතුමා. දැන් මාස කිහිපයක ඉඳන් ‘මතු දෙරණ ශිෂ්‍යත්ව වැඩසටහන’ හරහා තරුෂිගේ පෝෂණ අවශ්‍යතා සපුරාගන්න මාසෙකට රුපියල් 50000ක් දෙනවා. ඒක අපිට ලොකු හයියක්. දුව කියන විදියට දැන් එයාගේ එකම අපේක්ෂාව ඔලිම්පික් පදක්කමක් ගේන එක. මම දන්නවා මගෙ දුව ඒකත් කරයි.”


අවුරුදු 21කට පස්සේ ලංකාවට ආසියානු රන් පදක්කමක් ගෙනාපු තරුෂි කවදමහරි ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගේනවා කියන එක අපිට විශ්වාසයි. ඉතින් ලක්අම්මගේ නම ලෝකෙට ගෙනියපු පුංචි දුවේ! ඔබට ‘ධරණී’ අපේ ප්‍රණාමය.




රුවන් එස්.සෙනවිරත්න

 උපුටා ගැනීම ධරණී පුවත්පත