ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ.

අද (10) පෙරවරුවේ සිට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.

අද රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා දේහය "ජයරත්න Respect Home" හි තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව දේහය රාගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑමට නියමිතය.

හෙට (11) දිනයේ 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි නිවසේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය,

"අප්පච්චි වෙනුවෙන් අවසන් ගෞරවය දක්වන්න එන රසිකයින්, හැමකෙනෙක්ම අප්පච්චිට ආදරේ කරන අය. අප්පච්චි එක්ක එකට වැඩකරපු අය. අපි අඳුරන්නේවත් නැති බොහෝදෙනෙක් අප්පච්චිට ආදරේ ප්‍රකාශ කරන්න මෙතෙනට එනවා. ඒ හැමකෙන්ටම ගොඩක් ස්තූතියි. අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ. අප්පච්චිට වෙන ආදරයක් නෑ. හරිම අහිංසක ඉක්මනින් දුක හිතෙන, දුක හිතෙන අහිංසක අවංක මනුස්සයෙක් මගේ අප්පච්චි. ඒක ගොඩක් අයට විශ්වාස කරන්න බැරි වුණා. මොකද බහුතරයක් දෙනා එහෙම නැති නිසා. 

අපි අප්පච්චි වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. අපි පැරදුනා. අප්පච්චිව හොරු ගෙනිච්චා. අප්පච්චිට ආදරේ කරපු අයට පුළුවන් ඇවිත් අවසන් ගෞරවය දක්වන්න. 

ඔයාලට බොහෝම ස්තූතියි අප්පච්චි වෙනුවෙන් වචනයකින් හරි හිත හැදෙන්න, අප්පච්චිට ආදරේ එකතු කරන්න කියපු දෙයක් කරපු දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ගොඩක් පින්. නොදැනුවත්කමින් හරි අප්පච්චිගේ හිත රිදෙන දෙයක් වුණා නම් ඒකට අපි තරහා නෑ. දැනුවත් වුණා නම් කවුරුත් එහෙම කරන්නේ නෑ. හැමෝම දන්නවා මගේ අප්පච්චි අවංක කෙනෙක්. එයාට තිබුණ හයිය තමා ඔයගොල්ලන්ගේ ආදරේ. මම හිතනවා අප්පච්චි කරපු දේවල් හැමාදාටම ඉතුරුවෙලා තියෙනවා.