ශිෂ්‍යත්ව විභාගය ඊයේ (15 වැනිදා) අවසන් වී පැය දෙකක් ගත වීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර දෙකම පිට වී තිබිණි. එලෙස පිට වී ඇත්තේ අංක 218013 දරන දෙවැනි ප්‍රශ්න පත්‍රය සහ අංක 61313 දරන පළමු ප්‍රශ්න පත්‍රය යි.


විභාගය නිම වී ප්‍රතිඵල පිටවන තෙක් වන මාස දෙකකට අධික කාලයේ දී එම ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවට අයත් රහස්‍ය ලේඛන වන අතර ඊට පෙර එය ප්‍රසිද්ධියට පත් කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් වෙයි.


මෙම නීතිය හඳුන්වා දුන්නේ 2017 වසරේ දී එවකට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගේ කාලයේ දීය. එවැනි නීතියක් හඳුන්වා දෙන ලද්දේ විභාගය අවසන් වීමෙන් පසු විශේෂයෙන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් එම ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කරමින් ගුණදොස් විවේචනය කිරීමේ ප්‍රවණතාව වළක්වාලීමටය.



මෙම නීතිමය තත්ත්වය හඳුන්වා දුන් වසරේ සිට විභාගයට පෙර අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව ප්‍රසිද්ධියට පත්කර ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානයට යොමු කරන නමුත් මෙවර එවැනි දැනුවත් කිරීමක් දෙපාර්තමේන්තුව නොකළේය.



එපමණක් නොව ඊයේ පැවති විභාගයට පෙනී සිටීමට නියමිත වූ ශිෂ්‍ය සංඛ්‍යාව හෝ නිල වශයෙන් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් නොකළේය.


මෙම නීතිය හඳුන්වා දීමෙන් පසු විභාගයේ ලකුණු පටිපාටි පිට කිරීමට වැරදිකාරියක වූ ගාල්ල ප්‍රදේශයේ ගුරුවරියකට සිර දඬුවම් ද නියම කෙරිණි.