පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා ඇතිවූ ගැටුම පිළිබඳ සෙවීම සඳහා කථානයකවරයා පත් කළ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) පෙරවරුවේ රැස්විය. 


රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර මැදිහත්වූ ගැටුම සම්බන්ධයෙන් කරුණු සෙවීමට මෙම කමිටුව පත්කර තිබේ.




නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකිර් මාකර්, රමේෂ් පතිරණ යන පිරිස අදාළ කමිටුවට ඇතුළත් ය.




ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ CCTV වීඩියෝ දර්ශන අද නිරීක්ෂණය කෙරුණි.


නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ,


"මෙම සිද්ධියේ දැකපු ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තව හඳුනගත්තා. ඒ නිසා ඔහුව ඊළඟ කමිටුවට කැඳවනවා."


"ඊට අමතරව සිද්ධියට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනාවත් ඊළඟ කමිටුවට කැඳවනවා."


"ඒ වගේම කමිටුවේ සහාය වෙනුවෙන් කාන්තා මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ සහාය ලබාගන්නත් අද රැස්වී තීරණය කළා."




ලබන 06 වනදා යළිත් කමිටුව රැස්වීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවේ වාර්තාව අනුව තරාතිරම නොබලා ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.