අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ. 


ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද (20) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.


මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් දැනුම්දෙන්නේ විදුලි ගාස්තු වැඩි කෙරෙන ප්‍රතිශත කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවය.


මහජන අදහස් විමසීමෙන් පසු සිදුකළ කරුණු සමාලෝචනයට අනුව සියයට 18ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් අද දිනයේ නිල ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව තවදුරටත් වාර්තා වෙයි.


යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ මහජන අදහස් විමසීමේ වැඩසටහනද පසුගිය 18 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.


කෙසේවෙතත් මෙම මහජන අදහස් විමසීමේ වැඩසටහනේ කිසිදු විනිවිදභාවයක් නොමැති බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලුක්ෂ කුමාර මහතා පැවසීය.