ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපල සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

සොරාගෙන ගිය දේපල අතර ආහාර පරික්ෂා කිරීම් සඳහා යොදාගන්නා වර්ග දෙකකින් යුත් රසායනික ද්‍රව්‍ය බෝතල් 7 ක් හා පරික්ෂා කිරීම සඳහා තබා තිබූ සූදුරු පැකට් තුනක් වන බවට එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු විසින් පැමිණිලි කර තිබේ.

බොරැල්ල ඇල්විටිගල මාවතේ වික්ටෝරියා පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පළමු මහලේ පිහිටි රසායනාගාරයේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පෙන්වා දෙයි.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශනගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන කටයුතු සිදු කෙරේ.