අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවේ සිරකරුවන් රඳවා සිටින මැදිරියකින් එළියට පැමිණ තරුණ නීතිඥවරියකට අතවර කළ සැකකරුවෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ මෙම සිදුවීම වාර්තා වූ බවයි. 

ගලගෙදර මහේස්ත්‍රාත් දර්ශන රත්නායක මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙමින් තිබෙන අතරවාරයේදී මෙම අතවර කිරීම සිදුවී තිබෙනවා. සැකකරු ගලගෙදර කලුවාන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගලගෙදර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වූ අපේක්ෂකයෙකු බව ද සඳහන්. 

චෝදනාවක් ඇතුළු චෝදනා කීපයක් යටතේ සැකකරුට එරෙහිව විභාග වෙමින් තිබූ නඩු කීපයකට ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි සිර මැදිරියේ රඳවා තිබී ඇත්තේ. විභාගයට ගැනීමට තිබූ වෙනත් නඩුවක සැකකරුවෙකු සිර මැදිරයෙන් එළියට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේදී සැකකරු ඉන් එළියට පැන තරුණ නීතීඥවරියට අතවර කර තිබෙනවා. 

වහා ක්‍රියාත්මකවූ අධිකරණයේ පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇති අතර මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය නවතා අසුනෙන් බැසගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සැකකරු විසින් කරන ලද බලහත්කාරකම් හේතුවෙන් සුළු තුවාල ලැබූ නීතීඥවරිය ප්‍රතිකාර සඳහා ගලගෙදර දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර අද ඇය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.