දිවයින පුරා ඩෙංගු රෝගීන් 67,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසයි.




වෛද්‍යවරයා අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.


මෙම මාසයේ අද දිනය දක්වා පමණක් ඩෙංගු රෝගීන් 2500 ප්‍රමාණය ඉක්මවා වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න කීය.




පසුගිය මාසය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2500කට ආසන්න වේ.


මේ අතර බස්නාහිර පළාතේ, ගම්පහ කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙන්ම රෝගීන් වාර්තා වන අතර ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කය වැඩි අවදානමකට ලක්ව ඇත.




කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේත්, ගොතටුව, නුගේගොඩ සහ මහරගම යන ප්‍රදේශවලත් ඩෙංගු අවදානම වැඩිවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.


ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, බියගම, කැලණිය සහ වත්තල යන ප්‍රදේශවලද ඩෙංගු අවදානම වර්ධනය වී තිබේ.




කළුතර දිස්ත්‍රික්කයේ පානදුර සහ බේරුවල යන ප්‍රදේශවල ද ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දැකගත හැකි බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.