රජයේ රෝහල්වල සේවය කළ වයස අවුරුදු හැට (60) සම්පූර්ණ වූ හෙද හෙදියන් එක්දහස් එකසීයක් පමණ මේ වසරේදි විශ්‍රාම ගොස් ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල්වල සේවය කළ හෙද හෙදියන් හත්සිය දෙ‍නකු පමණ සහ පළාත් සභා රෝහල්වල සේවය කළ හෙද හෙදියන් හාරසීයක පමණ ප්‍රමාණයක් මෙසේ වයස අවුරුදු හැට සම්පූර්ණ වී විශ්‍රාම ගොස් ඇත.







කෙසේ වුවද රජයේ හෙද සේවයේ පළමුවන ශ්‍රේණිය, අධි ශ්‍රේණිය, විධායක ශ්‍රේණිය සහ විශේෂ ශ්‍රේණියට අයත් හෙද හෙදියන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය පෙරේදා (24) රිට් ආඥාවක් නිකුත් කළේය.




ශ්‍රී ලංකා හෙද සේවයේ පළමුවන ශ්‍රේණිය, අධි ශ්‍රේණිය, විධායක ශ්‍රේණිය සහ විශේෂ ශ්‍රේණියට අයත් හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ හෙද නිලධාරිනියක වන පුෂ්පා රම්‍යලතා සොයිසා ඇතුළු පාර්ශ්ව දෙකක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.



පෙත්සම්කාර හෙද ශ්‍රේණියට අයත් පළපුරුදු හෙද හෙදියන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම තුළින් රාජ්‍ය සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි යැයි අනතුරු අඟවා සිටින අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙම තීරණය යටතේ දැනටමත් විශ්‍රාම ගන්වා තිබෙන අදාළ ශ්‍රේණිවල හෙද හෙදියන් යළි සේවයට අනුයුක්ත කර ගන්නා ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළහ.



ඊට අමතරව රජයේ සේවකයන් අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයේ හෙද ශ්‍රේණි හතරකට අදාළ තීරණවලට අනුව කටයුතු කිරීම වළක්වාලමින් තවත් නියෝගයක්ද අභියාචනාධිකරණය විසින් නිකුත් කරනු ලැබීය. එසේම ශ්‍රී ලංකා හෙද සේවයේ ශ්‍රේණි හතරකට අදාළ හෙදියන් විශ්‍රාම ගැන්වීමට අදාළව වගඋත්තරකරුවන් විසින් නිකුත් කර තිබෙන ලේඛන බලරහිත කරමින් විනිසුරු මඬුල්ල විසින් තවත් නියෝගයක්ද නිකුත් කරන ලදී.




ශ්‍රී ලංකා හෙද සේවයේ පළමුවන ශ්‍රේණිය, අධි ශ්‍රේණිය, විධායක ශ්‍රේණිය සහ විශේෂ ශ්‍රේණියට අයත් හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබිණි.