මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51කට ආසන්න මුදලක් නගර සභා ගිණුමට බැර නොකර, තම පෞද්ගලික කටයුත්තක් සදහා යොදාගත් – බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.


 නගර සභාව ජනතාවගෙන් අය කරගන්නා වරිපනම් බදු, ජල බිල්පත් ගාස්තු ඇතුළු සියලු අය කරගැනීම් නගර සභාවේ සරප් අංශය මගින් කරන අතර, එම මුදල් දෛනිකව නගර සභා ගිණුමට බැර කළ යුතුව තිබුණත්, එම මුදල් භාරව සිටින ඉහළ නිලධාරිනියක එම මුදල් නගර සභා ගිණුමට බැර නොකර, ඇයගේ පවුලේ විවාහ මංගල උත්සවයක ගෙවීම් කටයුතු කිරිම සඳහා රැගෙන ගොස් ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.


 පසුගිය සතියේ දිනක නගර සභාවේ ගෙවීම්වලට සම්බන්ධ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 51ක මුදලක හිඟයක් පෙන්වීම හේතුවෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගේ මෙහෙය වීමෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතඑම මුදල නැවත හොර රහසේම තැන්පත් කර,සිද්ධිය යටපත් කිරීමට නගර සභාවේම ඉහළ නිලධාරීන් පිරිසක් සැලසුමක් ක්‍රියාත්මක කර තිබුණත්, නාගරික කොමසාරිස්වරයාගේ මැදිහත් වීමෙන් අදාළ විමර්ශනය ආරම්භ කර, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාට ද සිද්ධිය දැනුම් දීමට පියවර ගෙන ඇත. මහනුවර මහ නගර සභාවේ වසර 5කට ආසන්න කාලයක් සේවය කර ඇති එම නිලධාරිනිය වාර්ෂික ස්ථාන මාරු යටතේ වෙනත් රාජ්‍ය ආයතනයකට ස්ථාන මාරු ලැබීමට ද නියමිතව සිටි බව පැවැසේ.