උසස් වීම් හා වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් හතළිස් දෙදහසක් පමණ වන වෘත්තීයවේදීහු හෙට (23) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙති.




හෙට පෙරවරුවේ කොළඹ දී විරෝධතාවක් පැවැත්වීමට කමිටුව සැලසුම් කර තිබේ.


රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ ඇති බව කියන මාෆියාව ඉවත් කිරීම, විධායක සේවාවන් අතර පවතින උසස් වීම් විෂමතාව ඉවත් කිරීම, විධායක සේවාවන්ට බලපා තිබෙන වැටුප් විෂමතා ගැටලුවට විසඳුම්දීම මෙන්ම රාජ්‍ය සේවයට බරපතළ ගැටලු ඇති කරවන බව කියන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසුරුවා හැරීම ද කමිටුවේ ඉල්ලීම් අතර වෙයි.




රාජ්‍ය සේවයේ සේවක සංඛ්‍යා තීරණය කිරීම, බඳවා ගැනීම්, උසස් වීම්, තනතුරු නිර්මාණය කිරීම හා වැටුප් හා දීමනා ආදී සියලුම කාර්යයන් ඉතා අත්තනෝමතික ආකාරයට සිදු වෙමින් පවතින බවට චෝදනා කරන එම නිලධාරීහු මේ වන විට වෘත්තිකයන් රට හැර යාමටත් කුසලතා පූර්ණ තරුණ ජවය රාජ්‍ය සේවයට ආකර්ෂණීය නොවීමටත් මෙම තත්ත්වය හේතු වී තිබෙන බවත් සඳහන් කරති.




ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් පසුගිය කාලයේ දී අසාධාරණ හා අත්තනෝමතික ලෙස තෝරා ගත් ක්ෂේත්‍රයන්ට පමණක් වැටුප් හා දීමනා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන බවටද ඔවුහු චෝදනා කර සිටිති.


ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන් ඇතුළු දීප ව්‍යෘප්ත සේවාවන්වල විධායක කාර්ය මණ්ඩල මෙම කමිටුවට අයත් වන අතර හෙට පවත්වන විරෝධතාවෙන් පසුවත් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් දැඩි ක්‍රියාමාර්ගවල එළඹීමට කටයුතු කරන බව ඔවුහු පවසති.