රඹුක්කන - තිස්මල්පොල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.




නාරම්බැද්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි සැකකරුවන් විසින් අදාළ නිලධාරීන්ට පහරදීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.




පහරකෑමෙන් තුවාල ලැබු එම නිලධාරින් දෙදෙනා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.




පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් රඹුක්කන පොලීසිය අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.