ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වේ.

එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද (14) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම මඟී යාත්‍රා සේවය සිදු කෙරෙන බව සඳහන්ය.

නාගපට්නම් සිට මඟීන් පනස් දෙනෙකු ගෙන් යුත් යාත්‍රාව අද පෙරවරු 11.30ට පමණ කන්කසන්තුරය වරාය වෙත ළඟා වීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය නැව් සංස්ථාව මඟින් මෙම මඟී යාත්‍රා සේවයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර, ආගමන විගමන කටයුතු සඳහා කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මඟී පර්යන්තයක් ද ඉදිකර තිබේ.

උදෑසන ඉන්දියාවේ සිට දිවයිනට පැමිණෙන මෙම මඟී යාත්‍රාව පස්වරු 02.30ට කන්කසන්තුරය වරායෙන් යළි ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිතයි.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ, යාමට සහ ඒමට අදාළ ටිකට් පතක මිල රුපියල් 53,500ක් වන අතර, එක් ගමනාන්තයක් සඳහා වන ටිකට් පතක මිල රුපියල් 27,000ක් වන බවයි.