ලබන වසරේ (2024) ජුනි මස 30 වැනිදා දක්වා නැවත විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා පැවසීය.




සාමාන්‍යයෙන් වසරකදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන දෙකට අමතරව විශේෂ හේතුවක් මත සුවිශේෂී විදුලි ගාස්තු සංශෝධනයක් කිරීමේ හැකියාව ඇතැයිද මෙවර එම සුවිශේෂී සංශෝධනය හා ජනවාරි මාසයේ ගත යුතු විදුලි ගාස්තු සංශෝධනය යන දෙකම එකතු කර මිල සංශෝධනය කළ බව හෙතෙම පැවසීය. අද වන විට කර ඇති පුරෝකතන අනුව වැඩි කළ නව විදුලි මිල සංශෝධනය යටතේම 2024 වසරේ ජූනි මස 30 වැනිදා දක්වා මිල සංශෝධනයක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි විශ්වාස කරන බවද වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.




විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි හේමන්ත රණසිංහ පැවැසූයේ විදුලිබල මණ්ඩලය අද වන විට බිලියන දහඅටක අලාභයක් ලබා ඇති බවයි. ඉදිරි මාස තුනේදී නව සංශෝධනයත් සමග බිලියන දහඅටක ලාභයක් බලාපොරොත්තු වන බවත් වර්ෂය පුරා ලාභ හෝ අලාභ නොලබන තත්ත්වයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය. එමෙන්ම ඉකුත් පෙබරවාරි සිට ජුනි දක්වා පැවැති මිලට සාපේක්ෂව මෙවර සියයට එකක මිල වැඩිවීමක් පමණක් සිදුව ඇති බවද මණ්ඩලය පවසයි.