නිධානයකින් ලබා ගත් රත්‍රං බන්දේසියක් බව පවසා රන් පැහැ ගල්වන ලද ව්‍යාජ රත්‍රං බන්දේසියක් ඉතා සූක්ෂමව ලබා දී අනුරාධපුර නිවත්තකචේතිය ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමකගෙන් රුපියල් ලක්ෂ එකසිය පනහක මුදලක් වංචනික ලෙස ලබා ගැනී​මේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම වංචනික ක්‍රියාවට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.


ප්‍රධාන මහෙස්ත්‍රත්වරයා මෙසේ නියෝග කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නිධානයකින් ලබා ගත් බව කියන රත්‍රං බන්දේසියක් යැයි පවසමින් රන් පැහැ ගැන්වූ ව්‍යාජ රත්‍රං බන්දේසියක් පුද්ගල කණ්ඩායමක් විසින් අනුරාධපුර ප්‍රදේශයේ විහාරාස්ථානයක විහාරාධිපති හිමිනමකට වංචනික ලෙස ලබාදී උන්වහන්සේ රවටා රුපියල් ලක්ෂ එකසිය පනහක මුදලකට අලෙවි කර ඇති බවයි.




සැකකරුවන් විසින් පැමිණිලිකාර විහාරාධිපතිපති හිමියන්ට රුපියල් ලක්ෂ එකසිය පනහට අලෙවි කර ඇති රත්‍රං බව කියූ බන්දේසිය රත්‍රං නොව රන් පැහැ ගල්වන ලද ව්‍යාජ එකක් බව එම බන්දේසිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී අනාවරණ වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.


සිද්ධියට අදාළ මූලික විමර්ශන මේ වන විට අරඹා ඇති බවද අධිකරණයට සැළකළ අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුව ඉදිරියේදී සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද කීවේය.