විදුහල්පති සේවයේ උසස්වීම් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


විදුහල්පති සේවයේ විශාල පිරිසක් එම ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය අසමත් වීම මීට හේතු වී ඇත. ඉංග්‍රීසි භාෂාවට අමතරව උසස්වීම් ලබාගැනීම සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වීමද අනිවාර්ය විය. නව තීරණයට අනුව කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමග සරල ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයක් සකස් කිරීමට නියමිතය.


ඉංග්‍රීසි භාෂාවට වෙනම ප්‍රශ්න පත්‍රයක් ලබා නොදීමට අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ විදුහල්පති සේවයේ වෘත්තිය සංගම්වල දැඩි ඉල්ලීම හේතුවෙනි.


මේ අතර විදුහල්පති සේවයට බඳවා ගැනීමේදී හා උසස්වීම්වලට අදාළව මෙතෙක් පැවති සිංහල හා දෙමළ මාධ්‍ය විභාගවලට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද විභාග පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම සංශෝධනයන් විදුහල්පති සේවා ව්‍යවස්ථාවට ඇතුළත් කෙරෙන බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.


නව ක්‍රමයට අනුව විදුහල්පති සේවයට බඳවා ගැනීමේ ප්‍රථම විභාගය මෙම වසර අවසානයට පෙර පැවැත්වීමට නියමිතය. මේ වන විට එම සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු සංඛ්‍යාව 1800ක් දක්වා ඉහළ ගොස් තිබේ.