බහ තෝරන කාලයේ පටන්ම මයිකොෆෝනයක් ඉදිරියේ තාලයට  ලස්සනට ගීත ගායනා කරන මේ පුංචි සුරංගනාවිය කොයි කාටත් මතකයි.ඇය දෙරණ ලිටල් ස්ටාර් තරගාවලිය හරහා මුළු කටටම තමන්ගේ දක්ෂතාවයන් පෙන්නලා ජයග්‍රහණය ලබා ගත්තු ආදරණීය කලාකාරිනියක්.ඇය නමින් ආක්ෂා චමුදි.ප්‍රසංග වේදිකාව දෙවනත් කරන්න තරම් සමත් හඬකට උරුමකම් කියන ඇය අද වෙද්දි ගීත පහළොවක් විතර කරලා තියෙනවා.

මේ වන විට හත වසරේ ඉගෙන ගන්න ආක්ෂා ගීත ගායනා කරන ගායිකාවක් වගේම එක්තරා ටෙලි නාට්‍යයකට රංගනයෙනුත් දායකත්වය දැක්වූවා.ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ වෙන විට ආක්ෂා විදෙස් සංචාර තුනකට විතර සහභාගී වෙලා තියෙනවා.

ඒ සියලුම දේවල් ඇගේ දක්ෂතාවය නිසා සිද්ධ වෙච්චි දේවල්.ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජල්න් ගුණතිලක මහත්මිය ඇයට ඕනෑම අවස්ථාවක ඇයගේ ගීත ගායනා කරන්න විශේෂ අවසරයක් ලබාදීලා තියෙනවා.

ඒ සියලුම දේවල් එක්ක දැන් ආක්ෂගෙ කටහඬ හරි ලස්සනට පරිණත වෙලා. ඒ නිසාම බොහෝ දෙනෙක් කියනවා වෙනදටත් වඩා ඇය ලස්සනට සින්දු කියනවා කියලා.ඉතින් එදා වගේම අදටත් ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි විදිහට ලැබෙනවද කියලා අහපුවාම ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ප්‍රසංග වේදිකාවට ගිහිං සින්දු කිව්වම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මම මේ වෙද්දී රටවල් දෙක තුනකට ගිහින් සංගීත ප්‍රසංගවල සින්දු කියලා තියෙනවා. මට අමතක නොවන ප්‍රතිචාර ලැබුණේ කුවේට් ප්‍රසංගයට ගිය දවසේ. එතකොට මට වයස අවුරුදු හතක් විතර ඇති. එදා මාව බලන්න ගොඩක් අය ආවා. බේර ගන්න බැරුව බැරිම තැන මාව කාමරේක දාලා තිබ්බා . ආදරණීය ජනතාව මාව බලන්න ආපු එක ලොකු සතුටක්. ඒක මට තවම මතකයි. එදා මාමා කෙනෙක් මාව වඩාගෙන ඉද්දි තමයි මම ගීත ගායන කළේ.

ඉස්කෝලේ ගොඩක් ප්‍රතිචාර හොඳයි. සමහර අය මාව දැක්කම සින්දුවක් කියන්න කියලා කියනවා. විදුහල්පති තුමා ඇතුළු සියලුම ගුරුවරු මට උදව් කරනවා අතපසු වෙන පාඩම් මට වෙනම කියලා දෙනවා. ඒක මට ගොඩක් වටිනවා. දැන් මගේ පෙනුම ටිකක් වෙනස් වෙලා නිසා මඟ තොටේ හමුවන අය එකපාරටම ප්‍රතිචාර දක්වන්නෙ නැහැ . ආක්ෂාද අහලා කතා කරන්නේ, ඒ නිසා පාරේ යද්දී දැන් ටිකක් නිදහසේ යනවා.”

ඉතින් ඇයගේ ඉදිරි ජීවන කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.