රජයේ සේවකයන් සඳහා මෙවර අය වැයෙන් යෝජනා කළ රාජ්‍ය සේවකයන්ට වැඩි කළ ජීවන වියදම් රුපියල් 10,000 දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ. විශ්‍රාමිකයන් සඳහා වැඩි වූ රුපියල් 2,500ක දීමනාව සම්පූර්ණයෙන්ම ජනවාරියේ සිටම ලබාදීමට ද එකඟතාව පළ වී ඇත.

මෙවර අය වැයෙන් රජයේ සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට යෝජනා කළ අතර එයින් 5,000ක් ලබන අප්‍රේල් මාසයේත් ඉතිරි මුදල ඔක්තෝබරයේත් ලබාදීමට අය වැය කතාවේදී යෝජනා කළේය. විශ්‍රමිකයන් සඳහා රුපියල් 2,500 ක් අප්‍රේල් මාසයේ සිට ලබාදීමට ද අයවැය යෝජනා කළේය.

අදාළ රාජ්‍ය සේවක පඩි වැඩි වීමෙන් කොටසක් ලබන ජනවාරියේ සිටම ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය ආදායම් ඒකකයේ රැස්වීමේදී අවධානය යොමුව ඇති අතර ජනවාරියේ සිට රුපියල් 5,000ක් ලබා දීමටත් අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ම ලබා දීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇත.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2003 අපේක්ෂිත මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සංඛ්‍යා දත්ත අනුව ජනවාරියේ සිටම පඩි වැඩි වීම ක්‍රියාත්මක කළ හැකි බව අනාවරණය වී තිබේ. අදාළ රැස්වීම රාජ්‍ය ආදායම් ඒකකයේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 23දා පැවැත්විණි.

2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා ආදායම් එකතු කිරීමේ නියෝජිත ආයතනවලින් බදු ආදායම් එකතු කිරීමේ ඇස්තමේන්තුව ද මෙහිදී ඉදිරිපත් කර ඇති අතර, එම ලේඛනයට අනුව නොවැම්බර් 21 දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1,457ක ආදායමක් උත්පාදනය කර තිබේ. රේගු ආදායම රුපියල් බිලියන 842ක් ද සුරාබදු ආදායම රුපියල් බිලියන 70ක් ද වන අතර, එම ආයතනවලින් ලද මුළු ආදායම රුපියල් බිලියන 2,446කි. නොවැම්බර් 21 වැනිදා වන විට අනෙකුත් ආයතන වලින් එකතු කර ගන්නා ලද ආදායම රුපියල් බිලියන 29ක් ලෙස දැක්වේ.